May 9, 2024

ශ්‍රී ලාංකීය චින්තන පර්ෂදයක් වන ‘වෙරිටේ රිසර්ච්’විසින් අමාත්‍යාංශ 15ක් සමඟින් ‘ශ්‍රී ලංකාවේ ප්‍රයෝගික රජයක් සඳහා වූ සැලැස්මක්’ දියත් කර ඇත.

අමාත්‍යාංශ 15කින් වුවද ශ්‍රී ලංකාවේ සියලුම රාජකාරි, කාර්යයන්, ආයතන සහ නීති කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ව්‍යුහගත කර සංවිධානය කළ හැකි ආකාරය එම ප්‍රකාශනය ඔස්සේ පෙන්වා දෙයි.

එය ශ්‍රී ලංකාවේ රජය සහ එහි සියලුම ක්‍රියාකාරකම් සංවිධානය කිරීම වෙනුවෙන් ඉහළ ක්‍රියාකාරී ව්‍යුහයක් සැලසුම් කිරීම සඳහා 1988 පිළිගත් පරිපාලන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු මෙන්ම ආදර්ශමත් අන්තර්ජාතික භාවිතයන් ආදර්ශයන් ලෙස ලබාගෙන ඇත.

කැබිනට් අමාත්‍යාංශ පිහිටුවීමේදී මතුවිය හැකි සැළකිව යුතු ගැටලු දෙකක් අවම කර ගැනීම මත මෙම සැලැස්ම සකස් කර ඇත.

1. ඛණ්ඩනය: මෙය අදාළ වන්නේ විෂයයන් විවිධ අමාත්‍යාංශ හරහා බෙදී යන විටය. උදාහරණයක් වශයෙන්, එක් කාලයකදී කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් සංවර්ධන සහ පොහොර යන විෂයයන් විවිධ අමාත්‍යාංශවලට බෙදී තිබිණි.

2. නොගැලපීම: මෙහි අදහස වන්නේ එකිනෙකට සම්බන්ධ නොවන විෂයයන් එකම අමාත්‍යාංශයක් යටතේ එකට එකතු කිරීමෙන් බැහැර වීමය. නිදසුනක් වශයෙන්, සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු සඳහා එක් අමාත්‍යාංශයක් ද විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා යන අමාත්‍යාංශයක් ද එකට එක්ව පැවැතිණි.

මීට අමතරව, රජය වඩාත් අකර්මණ්‍ය කරන නිරන්තර වෙනස්කම් පිළිබඳ ගැටලුවක් තිබේ.

නිදසුනක් වශයෙන්, 2010 සිට 2023 දක්වා, ආයතන ඇතුළු අමාත්‍යාංශවල සංයුතිය සහ ඒවාට පවරා ඇති පනත් අවම වශයෙන් ගැසට් 111කින් වෙනස් කර ඇත.

එම ගැටලුව මගහරවා ගැනීමටද මෙම ප්‍රකාශනයෙන් විසඳුම් ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ සියලූම ප්‍රධාන දේශපාලන පක්ෂ වෙත මෙම ලේඛනය ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලාංකේය ජනතාවට කාර්යක්ෂම හා ඵලදායී ලෙස සේවය කරන ආණ්ඩු ව්‍යුහයක් සැලසුම් කිරීමේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහාය වීම සඳහා ය.