May 20, 2023

ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 798 වැනි ස්ථානයේ පසුවන, ලෝ ප්‍රකට ව්‍යාපාර සමූහයක් වන Virgin Group හි නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයෙකු වන භානුක හරිස්චන්ද්‍ර අතර හමුවක් පසුගියදා පැවැත්විණි.

භානුක හරිස්චන්ද්‍ර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම හමුවීම රිචඩ් බ්‍රැන්සන්ට අයත් පෞද්ගලික දුපතක් වන Necker Island හිදී පැවැති බවයි.

“මේ සතියේ රිචඩ් බ්‍රැන්සන් සමඟ වඩාත්ම පුදුම සහගත කාලයක් ගත කළා. තාක්ෂණය, ශ්‍රී ලංකාව සහ කෘතිම බුද්ධියේ අනාගතය ගැන එහිදී සාකච්ඡා කළා” යැයි භානුක සඳහන් කර ඇත.

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්, අභ්‍යවකාශ චාරිකාවකට සහභාගීවූ ලොව පළමු බිලියනපතියා ලෙස සැලකේ. 2023 වසර ආරම්භය වන විට ඔහුගේ ධනය ඩොලර් බිලියන 3.6ක් ලෙසින් ගණනය කර තිබේ.

ෆොර්බ්ස් සඟරාව (Forbes) විසින් 2021 වසරේ සිය ’30 under 30 Asia 2021′ ලැයිස්තුවට භානුක හරිස්චන්ද්‍රගේ නමද ඇතුලත් කර ඇත.

භානුක හරිස්චන්ද්‍ර විසින් 2015 වසරේ දී Surge Global නමින් ඩිජිටල් මාධ්‍ය හා උපදේශන සේවා ආයතනයක් ආරම්භ කරනු ලැබීය. ඉන් වසර තුනකට පසු Surge Global වෙත, එක්සත් රාජධානියේ බිලියනපතියකු වන Joe Lewis සතු සමාගමක් වන Tavistock Group හරහා ඩොලර් පන්ලක්ෂයක් රැස්කර ගැනීමට භානුකට හැකිවිය.