October 18, 2026

ආදායම් වැඩි නොවීම සහ ජීවන වියදම් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බංග්ලාදේශයේ සමස්ත පවුල්වලින් සියයට 47.42ක් ණය බරින් මිරිකී සිටින බව බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශය සිදුකළ විශේෂ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම තත්ත්වය නගරබද ජනතාවට වඩා ග්‍රාමීය ජනතාවට දැඩි ලෙස බලපා ඇත.

ජාතික වැටුප් කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව, බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දිළිඳුකම සහ ජීවනෝපාය සංඛ්‍යාලේඛන ඒකකය මගින් පවත්වන ලද “2025 ජීවන තත්ත්ව සමීක්ෂණයට” අනුව, පසුගිය වසර තුළ මූලික ජීවන වියදම් පියවා ගැනීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලින් සියයට 51.91ක්, නාගරික ප්‍රදේශවල සියයට 40.19ක් සහ මහා නගර සභා බලප්‍රදේශවල සියයට 32.11ක් ණය ගැනීමට පෙළඹී ඇත.

මෙම සමීක්ෂණයට අනුව ජාතික මට්ටමින් පවුලක පැවැත්ම සඳහා ලැබෙන මාසික සාමාන්‍ය ආදායම බංග්ලාදේශ ටකා 33,513ක් වන අතර, මාසික සාමාන්‍ය වියදම ටකා 35,311ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මහා නගර සභා බලප්‍රදේශවල වැඩිම මාසික සාමාන්‍ය වියදම ලෙස ටකා 46,778ක් වාර්තා වන අතර, නාගරික ප්‍රදේශවල වියදම ටකා 37,344ක් සහ ග්‍රාමීය ප්‍රදේශවල වියදම ටකා 32,532ක් ලෙස සඳහන් වේ.

ජාතික මට්ටමින් ගත් කල, මාසික වියදම ආහාර සහ ආහාර නොවන ද්‍රව්‍ය සඳහා සමානව බෙදී යන නමුත්, ප්‍රදේශ අනුව එහි පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. ග්‍රාමීය වැසියන් සිය ආදායමෙන් වැඩි කොටසක් ආහාර සඳහා වැය කරන අතර, නාගරික වැසියන් වැඩි වශයෙන් වැය කරන්නේ ආහාර නොවන ද්‍රව්‍ය සඳහා ය. මහා නගර සභා බලප්‍රදේශවල පවුල්වල මාසික වියදමෙන් සියයට 56.7ක්ම වැය වන්නේ ආහාර නොවන ද්‍රව්‍ය හා සේවාවන් වෙනුවෙනි.

කෙසේ වෙතත්, 2022 පැවැත්වූ පවුල් ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව ජාතික මට්ටමේ මාසික සාමාන්‍ය පවුල් ආදායම ටකා 32,422ක් ලෙසත්, මාසික සාමාන්‍ය වියදම ටකා 31,500ක් ලෙසත් වාර්තා වී තිබිණි.