
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ ආර්.එම්. සාගරධීර විශ්ව වික්‍රම ඊයේ (11) දින වැඩි ඡන්ද 4 ක් හිමිකර ගනිමින් බණ්ඩාරවෙල නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර වැඩි ඡන්ද 4 ක් ලබාගත් ස්වාධීන කණ්ඩායම් අංක 01 හි ශ්‍රීකාන්ත නන්ද, උප නගරාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත.
බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස් ලලිත් හේමන්ත දිසානායකගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල නගර සභා ශාලාවේදී ඊයේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීය.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිය පක්ෂයට නොලැබුණ ද, ස්වාධීන කණ්ඩායම් අංක 01හි මන්ත්‍රීවරයකුගේ ද සහාය ලබාගනිමින් ජාතික ජන බලවේගයේ ආර්.එම්. සාගරධීර විශ්ව වික්‍රම නගරාධිපතිවරයා ලෙසත් ජාතික ජනබලවේගයේ සහාය ලබාගනිමින් ස්වාධීන කණ්ඩායම් අංක 01 නියෝජනය කළ ශ්‍රීකාන්ත නන්ද උප නගරාධිපතිවරයා ලෙසත් තේරී පත්වීම විශේෂ සිදුවීමක් විය.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බණ්ඩාරවෙල නගර සභාව සඳහා තේරී පත් වූ එක් දේශපාලන පක්ෂයකට හෝ බහුතර බලයක් හිමි නොවීම නිසා නගරාධිපති හා උප නගරාධිපති පත්කිරීම සඳහා මෙම ඡන්ද විමසීම සිදුවිය.
බණ්ඩාරවෙල නගර සභාවේ නියෝජිතයන් 16න්, සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ නියෝජිතයන් රැස්වීමට පැමිණ නොතිබීම නිසා, ජාතික ජනබලවේගයේ මන්ත්‍රී 06ක්ද, ස්වාධීන කණ්ඩායම් අංක 01 හී මන්ත්‍රී 05ක්ද, ස්වාධීන කණ්ඩායම් අංක 02 හී මන්ත්‍රී 01ක්ද, හා පොදුජන පෙරමුණේ මන්ත්‍රී 01 යන මන්ත්‍රීවරුන් 13දෙනාගේ සහභාගිත්වයෙන් ඡන්ද විමසීම පැවැත්වීය.
මෙහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හයදෙනා සමග එක්වූ ස්වාධීන කණ්ඩායම් අංක 01 හී එක් මන්ත්‍රීවරයකු හා ස්වාධීන කණ්ඩායම් අංක 02හි මන්ත්‍රීවරයා ජාතික ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂක ආර්.එම්.සාගරධීර විශ්ව වික්‍රම පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඔහුට හිමිවූ මුළු ඡන්ද සංඛ්‍යාව 08 ක් විය.
නගරාධිපති ධුරය සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02හී නායක මොහොමඩ් නවුසාඩ් තරග කළ අතර ඔහුට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 04ක් විය.
මෙහිදී ස්වාධීන කණ්ඩායම් අංක 02හී නායක මොහොමඩ් නවුසාඩ්ට එරෙහිව එම කණ්ඩායමේ එක් මන්ත්‍රිවරයකු ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයාට ඡන්දය ලබාදීම සුවිශේෂී සිදුවීමක් ද විය.
ඉන් අනතුරුව උප නගරාධිපති ධුරය සඳහා ද ඡන්ද විමසීමක් පැවති අතර ස්වාධීන කණ්ඩායම් අංක 01හී ශ්‍රී කාන්ත නන්ද වැඩි ඡන්ද 04ක් හිමි කරගනිමින් උප නගරාධිපති ලෙස තේරී පත්විය.
මෙහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 06 දෙනා ස්වාධීන කණ්ඩායම් අංක 01හී ශ්‍රී කාන්ත නන්ද පක්ෂව ඡන්දය භාවිත කළ අතර උප නගරාධිපති ධුරය සඳහා ද තරග කළ ස්වාධීන කණ්ඩායම් අංක 02හි මොහොමඩ් නවුසාඩ්ට ලැබුණේ ඔහු නායකත්වය දුන් ස්වාධීන කණ්ඩායම් අංක 02හී මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් සිව්දෙනකුගේ ඡන්දය පමණි.
මෙම සෑම ඡන්ද විමසීමකදීම පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටීම ද සිදුවිය.
මෙම ඡන්ද විමසීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා එම සභාවට ඊයේ දිනයේ පැමිණ සිටියේ නැත.
සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ලෙස කටයුතු කළ චමින්ද විජේසිරි ද, පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart