May 8, 2024

ගුවන් යානා ඉන්ධන ගබඩා කරන්න ආණ්ඩුවේ මන්ත්‍රීකෙනෙක්ට එයාපෝර්ට් එකෙන් ඉඩමක් දීල

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ඉඩමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද අනාවරණය කළේය.

ගුවන් යානා ඉන්ධන සැපයීම රටට ඩොලර් ඉපැයීමේ ප්‍රධාන මාර්ගයක් බව පාර්ලිමේන්තුවට පැවසූ මන්ත්‍රීවරයා, මෙලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාධිකාරය අහිමි කර ඇත්තේ කෙසේදයි ප්‍රශ්න කළේය.

ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 51ක වියදමින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළෙහි පද්ධතියක් ක්‍රියාත්මක වන විට, ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් Cannel (Private) Limited සහ Fits Aviation වෙත ද බලපත්‍ර ලබා දී ඇති බව මන්ත්‍රීවරයා පැවැසීය.

ගුවන් යානා ඉන්ධන සැපයීමේ ඒකාධිකාරයක් ලෝකයේ කිසිදු ප්‍රධාන ගුවන් තොටුපළක නොමැති බවත්, සමාගම් පහක් හෝ දහයක් සියලුම ගුවන් තොටුපළවල් සඳහා ගුවන් යානා ඉන්ධන සපයන බවත් රාජ්‍ය ඇමැති ඩී.වී.චානක ද එහිදී කරුණු දක්වමින් සඳහන් කළේය.

තරඟකාරී මිල ගණන් සහතික කිරීම සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීමේ තරඟකාරීත්වයක් ඇති කිරීම අමාත්‍යාංශයේ අරමුණ බව හෙතෙම පැවැසීය.