September 11, 2026

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය අටවැනි අදියර ලෙස අලුත්වැඩියා කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය ඊයේ (10) නිල වශයෙන් ජනතා අයිතියට පත් කර ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.

රුපියල් මිලියන 60ක පූර්ණ පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයකින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය දාවුඩි බෝරා ප්‍රජාව විසින් මූල්‍ය අනුග්‍රහය දක්වා ඇති අතර, 2026 මාර්තු 19 වැනි දින ආරම්භ කළ වැඩකටයුතු මාස 5ක් වැනි කෙටි කාලයකදී නිම කිරීමට සමත්ව තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල, 1 සහ 2 වේදිකා, සනීපාරක්ෂක පහසුකම්, විදුලි හා ජල පද්ධති, CCTV ආරක්ෂිත පද්ධති, මහා මාර්ගය හා දුම්රිය මාර්ගය යා කෙරෙන පදික පාදක පාලම (Overhead bridge) සහ නවීන ආපනශාලාවක් ද ඉදිකර ඇත.

උත්සවය ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර බෝරා ප්‍රජාවට සිය කෘතඥතාව පළ කළ අතර, ඉදිරියේදී රුපියල් බිලියන 80ක පිරිවැයකින් මරදාන සහ මාකුඹුර අතර ප්‍රථම වරට නියමු විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමටත්, කැලණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමටත්, හයිලෙවල් පාර මංතීරු 4කට පුළුල් කිරීමටත් සැලසුම් කර ඇති බව පැවසීය.

මීට පෙර ‘Dream Destination’ ව්‍යාපෘතිය යටතේ තල්පේ, නාරාහේන්පිට, මරදාන සහ පොළොන්නරුව යන දුම්රිය ස්ථානයන් ද සාර්ථකව නවීකරණය කර ජනතා අයිතියට පත්කර තිබිණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුණීර් මුලෆ්ෆර්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර් ඇතුළු පිරිසක් සහභාගී වූහ.