September 12, 2026

සජීවී අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සම්පත් මනම්පේරි නැමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් ඊයේ (11) ඇප ලබාදී තිබේ.

හිටපු පොලිස් නිලධාරියෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන මනම්පේරී, රුපියල් 10,000 ක මුදල් ඇපයක් සහ රුපියල් 250,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙසේ මුදාහැර ඇත.

තංගල්ල මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න හමුවේ මෙම ඇප ඉල්ලීම සලකා බලන ලදී.

ගිනිඅවි සහ ‘අයිස්’ (crystal methamphetamine) මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගැනීමේ සිද්ධියකට අදාළව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් මනම්පේරී අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මිද්දෙනිය ප්‍රදේශයේ නිවසක තිබී මෙම සජීවී අත්බෝම්බය සොයා ගැනීමට පොලිසිය සමත් විය.

වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව මෙම ඇප ඉල්ලීම තංගල්ල මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.