May 18, 2023

ඇමසන් වනාන්තරය මැදින් බිළිඳකු සහ තවත් දරුවන් තිදෙනකු සොයාගත් පුවතක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

මෙම කොලොම්බියානු ළමුන් තිදෙනා සහ බිළිඳා ඇමසන් වනාන්තරයෙන් පණපිටින් සොයාගෙන ඇත්තේ ඔවුන් ගමන් කළ ගුවන් යානය ඝන වනාන්තරයකට කඩා වැටී සති දෙකකට වැඩි කාලයකට පසුවය.

මැයි 01 වන දින, ඇමසෝනාස් පළාතේ Araracuara සහ Guaviare පළාතේ San Jose del Guaviare අතර මාර්ගයක මිනිසුන් හත් දෙනෙකු රැගත් Cessna 206 වර්ගයේ ගුවන් යානයක් එන්ජිමේ දෝෂයක් හේතුවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

අනතුරින් ගුවන් නියමුවා ඇතුළු වැඩිහිටියන් තිදෙනකු මිය ගිය අතර ඔවුන්ගේ සිරුරු ගුවන් යානය තුළ තිබී සොයා ගන්නා ලදී.

වයස අවුරුදු 13, 09 සහ 04 හැවිරිදි දරුවන් තිදෙනකු මෙන්ම මාස 11ක් වයසැති බිළිඳෙකුද මෙම අනතුරින් දිවි බේරාගෙන තිබේ.

කොලොම්බියාවේ Caqueta පළාතේ ඝන කැලෑවකදී හමුදා සාමාජිකයන්, ගිනි නිවන භටයන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් විසින් මෙම ළමුන් බේරාගෙන ඇත.

සිවිල් ගුවන් සේවා බලධාරීන් විශ්වාස කරන්නේ අනතුරෙන් පසු ළමයින් උපකාර සෙවීම සඳහා වැසි වනාන්තරයට ගොස් ඇති බවයි.