August 18, 2023

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවෙන් (DFAT) සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලැබීමෙන් පසු ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් සඳහන් කර ඇත්තේ, ප්‍රථමයෙන් ඔවුන් කනස්සල්ලට පත් වී ඇති නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා මෑතකාලීන සංචාරක උපදේශනය පෙනෙන තරම් දරුණු නොවන බවයි.

ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට පැමිණෙන සිය සංචාරකයන්ට අනතුරු අඟවමින් මෙම සංචාරක උපදේශය නිකුත් කර තිබිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් අනුව, කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, විදේශ කටයුතු සහ වෙළෙඳ සහකාර ලේකම් දෙපාර්තමේන්තුවේ ඉන්දියානු සාගර සහ දකුණු ආසියා සමුද්‍ර ශාඛාව හමුවී සංචාරක යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් මේ සතියේ සකච්ඡා කර ඇත.

අගෝස්තු 10 වැනිදා ඕස්ට්‍රේලියාවේ සංචාරක උපදේශන යාවත්කාලීන කිරීමට අනුව, ‘ත්‍රස්තවාදයේ අවදානම’ යන යෙදුම වෙනුවට ‘ආරක්ෂාව පිළිබඳ අවදානම’ යන යෙදුම ආදේශ කර ඇති බව ශ්‍රී ලංකා දූත මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පණිවිඩයක් යොමු කර තිබේ.

2022 ඔක්තෝබර් යාවත්කාලීන කිරීමෙන් පසු උපදෙස් මට්ටම (කහ වර්ණය) වෙනස් වී නොමැති අතර, එය ඉන්දියාව, බංග්ලාදේශය වැනි අනෙකුත් දකුණු ආසියානු රටවලට සමාන බව පෙන්වා දී ඇත.

ඉන්දියාව සහ බංග්ලාදේශය සම්බන්ධයෙන් ගත් කල, ඉහළ සංචාරක අවදානමක් දැක්වීමට විශේෂිත කලාප තැඹිලි පැහැයෙන් සටහන් කර ඇති අතර, ශ්‍රී ලංකාව සඳහා මුළු රටම කහ පැහැයෙන් දක්වා තිබේ.

ඕස්ට්‍රේලියානුවන් සඳහා වඩාත් ප්‍රිය සංචාරක ගමනාන්තයන් වන ඉන්දුනීසියාව සහ තායිලන්තය යන දෙරටම ශ්‍රී ලංකාව මෙන් නොව ත්‍රස්තවාදී තර්ජන ගැන සඳහන් කරමින් ආරක්ෂක අංශය යටතේ අනතුරු ඇඟවීම් ලබා ඇති බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දුනීසියානු සංචාරක උපදේශන මඟින් සංචාරකයන්ගෙන් ඉල්ලා ඇත්තේ, ඉන්දුනීසියාව තුළ නිශ්චිත ප්‍රදේශවලට “සංචාරයේ අවශ්‍යතාවය නැවත සලකා බැලීමට” සහ “අත්‍යවශ්‍ය නොවන සංචාර වලින් වළකින්න” ලෙසටය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස්වලට සාපේක්ෂව මෙම උපදේශන වඩාත් ස්ථීර බව පෙන්වා දී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන් ද ශ්‍රී ලංකා දූත මණ්ඩලයට තහවුරු කර ඇත්තේ, දිවයිනේ සංචාරක උපදේශනය එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින් නිකුත් කරන ලද සංචාරක උපදේශනවලට අනුකූල බවයි.