July 6, 2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

අදාල පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේ දී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු ඉදිරිපත් කළ පෙත්සමේ අන්තර් ගත ඉල්ලීම් මූලික අයිතිවාසිකම් හා සම්බන්ධ කරුණු බැවින් ඒ පිළිබඳව විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළාය.

එම නිසා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සිය දේශනය ඉදිරිපත් කිරිම අවසන් කළේය.

වැඩිදුර කරුණු දැක්වීම් මේ මස 09 වනදා දක්වා කල් තිබේ.