July 20, 2026

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට පැහැර හැර ඇති හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා දිස්ත්‍රික් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේය.

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රුපියල් බිලියන 6කට අධික බදු මුදලක් පැහැර හැරීමට එරෙහිව සමාජ ක්‍රියාකාරීන් 17 දෙනකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මෙම කරුණු අනාවරණය කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලිණි.

අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයවිය යුතු සියලුම හිඟ බදු මුදල් කඩිනමින් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි. පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ 2023 ජූනි 15 වන විට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පැහැර හැර ඇති නොගෙවූ බදු මුදල රුපියල් බිලියන 6.221ක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි.

සංජය මහවත්ත ඇතුළු සමාජ ක්‍රියාකාරීන් 15 දෙනෙකු විසින් ගොනුකරන ලද මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, විගණකාධිපතිවරයා මෙන්ම ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම (W.M. Mendis & Co. Limited), වයඹ ඩිස්ටිලරීස්, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් ලංකා සමාගම, මැකලම් බෘවරි සමාගම, කළුතර සමුපකාර දේශීය මත්පැන් නිෂ්පාදකයන්ගේ සංගමය, ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන්, සිනර්ජි ඩිස්ටිලරීස්, රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම, හිඟුරාණ ඩිස්ටිලරීස් සහ රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම්කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන නොවැම්බර් මස 16 වැනිදාට දින නියම කළේය.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් මංජුල බාලසූරියගේ උපදෙස් මත මනුජය ද සිල්වා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනීසිටියහ.