September 5, 2026

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක (කෝටි 10ක) අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ නියෝග කළේය.

ඊයේ පස්වරු 4.00 ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කියාසිටියේ, මෙම ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

“ස්වාමීනි, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල පූර්ණ සහයෝගය ඇතිව සිදුකරන මෙම විමර්ශනය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. මෙම ගනුදෙනුවේදී එක් ගුවන් යානයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1 බැගින් අල්ලස් ලබා ගැනීමට ගිවිසගෙන තිබෙනවා.

මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුවේදී, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමලි විජේනායකට පමණක් හිමිකාරිත්වය තිබූ Singapore Standard Chartered Bank හි පවත්වාගෙන ගිය ‘BIZ Solutions INC’ නමැති ගිණුමට එයාර්බස් සමාගම විසින් යුරෝ මිලියන 1.454 ක මුදලක් අල්ලස් වශයෙන් තැන්පත් කර තිබෙනවා.

එම ගිණුමෙන් 2014 නොවැම්බර් 19 සහ දෙසැම්බර් 22 යන දිනවලදී අවස්ථා දෙකකදී සිංගප්පූරුවේ OCBC බැංකුවේ නිමල් පෙරේරා නමැත්තා සභාපතිත්වය දැරූ ‘Sabre Vision Holding Ltd’ නමැති සමාගම සතු ගිණුමට මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව, දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා විමර්ශන නිලධාරීන් පසුගියදා ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබුණා. තමාට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ ඔහු, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් වෙත දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

තමා සතු ‘Sabre Vision Holding Ltd’ ගිණුමට ‘BIZ Solutions INC’ ගිණුමෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් 800,000 ක මුදල (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100 ක්) අද අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටින සැකකාර ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ වෙත භාරදුන් බව ඔහු එමගින් ප්‍රකාශ කර තිබෙනවා.

ස්වාමීනි, එයාර්බස් මව් සමාගම ද මෙම ගනුදෙනුවට අදාළ ඕනෑම විමර්ශනයකට සහාය වීමට මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව එයාර්බස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තෙවරක් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රකාශ 4ක් ලබා දී ඇති අතර, මෙම ගනුදෙනුවට අදාළ ලේඛන ගණනාවක් ද විමර්ශන නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඒ අනුව එයාර්බස් සමාගම සහ සැකකරු අතර පැවැති සබඳතාව පිළිබඳව ද තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම නිසා මෙම සියලු කරුණු සලකා බැලීමෙන් පසුවයි සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකළේ.

දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සහතිකයක් ද ඉදිරිපත් කර ඇති බැවින් සහ සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 113 වගන්තිය සමඟ කියැවෙන අල්ලස් හෝ දූෂණ පනතේ 17(a), 17(c) සහ 25 යන වගන්ති යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා ලබා ඇති බැවින්, සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින්,

“ස්වාමීනි, මගේ සේවාදායකයා අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ නිමල් පෙරේරා නැමැත්තා කළ ප්‍රකාශයක් මත පදනම්ව පමණයි. ප්‍රංශ නිලධාරීන් හෝ එයාර්බස් නිලධාරීන් මගේ සේවාදායකයාට මුදල් දුන් බවක් පවසා නැහැ.

අදාළ නිමල් පෙරේරා නැමැත්තා සම්බන්ධ වෙනත් නඩුවක් ‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් මහාධිකරණයේ දැනට විභාග වෙනවා. එම නඩුවේදී ද ‘Sabre Vision Holding Ltd’ සමාගමට අයත් ගිණුමකට මුදල් ලැබී ඇති බව සඳහන් වුවත්, එහිදී නිමල් පෙරේරා පවසා තිබුණේ එම ගිණුම තමාගේ නොව ඉතාලි ජාතික මිතුරෙකුගේ එකක් බවයි.

ඒ අනුව නිමල් පෙරේරා එදා එකක් සහ අද තව එකක් පවසනවා. 2019 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිමල් පෙරේරා කී දේ විශ්වාස කළේ නැහැ. එසේ නම් 2026 දී නිමල් පෙරේරා කියන දේ විශ්වාස කරන්නේ කෙසේද?

ස්වාමීනි, මෙය කන්න ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා කරගැනීමේ න්‍යායයි. එබැවින් මෙය විශේෂ කරුණක් ලෙස සලකා මගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රකාශ කළේය,

“සැකකරුට එරෙහිව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ චෝදනා ලබා ඇති බැවින් ඇප ලබාදීමට නම් විශේෂ කරුණු ඉදිරිපත් කළ යුතුය. විශේෂ කරුණක් ලෙස ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ සාක්ෂිකරුගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වයයි. සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශයක විශ්වසනීයත්වය යම් සාක්ෂි සංක්ෂේපයක් මගින් මෙම අධිකරණයට තීරණය කළ නොහැක. සාක්ෂියක විශ්වසනීයත්වය සලකා බැලිය හැක්කේ නඩු විභාගය ආරම්භ වීමෙන් පසුවය. එම අවස්ථාවේදී සාක්ෂිකරු සාක්ෂි දෙන විට සහ එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී අදාළ සාක්ෂිය විශ්වාස කළ හැකිද නැද්ද යන්න තීරණය කළ හැක. ඒ අනුව සාක්ෂිකරුගේ විශ්වසනීයත්වය විශේෂ කරුණක් ලෙස සැලකිය නොහැක. වෙනත් කිසිදු විශේෂ කරුණක් ඉදිරිපත් කර නොමැති බැවින් ඇප ලබාදීමට කිසිදු පදනමක් නැත.”