August 30, 2023

පළමුවරට ආසියානු කුසලනා තරගාවලියක් සඳහා සුදුකම් ලබා ගත් නේපාලය සහ සත්කාරක පාකිස්තානය මෙවර තරගාවලිය ආරම්භ කරමින් අද පාකිස්තානයේ මූල්තාන් හිදී පිටියට පිවිසේ.

නේපාලය පාකිස්ථානය සමග ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට මුහුණ දෙන්නේ ද පළමුවරට වීම විශේෂත්වයකි.

නේපාලය මෙවර ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගන්නේ ආසියානු කුසලාන තරඟාවලි සඳහා මීට පෙර සහභාගී වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං වැනි කණ්ඩායම් අභිබවා කණ්ඩායම් දහයකින් සමන්විත ACC පිරිමි ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගනිමින්.

එමෙන්ම එක්දින ලෝක කුසලාන ලීග් 2 තරග 12කදී ජයග්‍රහණ 11 ලබා ගෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ද ස්ථානයක් වෙන් කර ගත් නේපාලය මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් හි 15 වැනි ස්ථානයේ රැඳී සිටී.

මේ වන විට නේපාලයේ ක්‍රිකට් නැගීමේ තරම ඉන් පැහැදිලි වේ.

පාකිස්තානය මෙවර තරගාවලිය සඳහා තාක්ෂණිකව සත්කාරකත්වය දැරුවද ඔවුන්ට තම මව්බිමේ දී තරග කිරීමට හැකි වන්නේ තරග දෙකක් පමණි.

ඒ නේපාලය සමග මූලික වටයේ තරගය සහ සුපිරි සිව්දෙනා අතරට පිවිසුණහොත් එම තරගය වේ.

 

අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති කණ්ඩායම්

පාකිස්තානයට තුන් ඉරියව් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් කලක පටන් අර්බුදයක සිටින අතර, පසුගිය ජුලි මාසයේ නේපාලයට එරෙහිව පාකිස්තානු A කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් දවාගත් මොහොමඩ් වසීම් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට නම් ෆහීම් අෂ්රෆ් හෝ මොහොමඩ් නවාස් හෝ දෙදෙනාම ඉවත් කිරීමට සිදුවනු ඇත.

පකිස්ථානය : 1 ෆකාර් සමාන්, 2 ඉමාම්-උල්-හක්, 3 බාබර් අසාම් (නායක), 4 මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), 5 ආගා සල්මාන්, 6 ඉෆ්තිකාර් අහමඩ්, 7 ෂඩාබ් ඛාන්, 8 ෆහීම් අෂ්රෆ්/මොහොමඩ් නවාස්/මොහොමඩ් වසීම්, 9 ෂහීන් ෂා අෆ්රිඩි, 10 නසීම් ෂා, 11 හරිස් රවුෆ්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් සෝම්පාල් කාමිට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය තුළ එතරම් දස්කම් දැක්වීමට නොහැකි වූ අතර යළි එක්දින පිටියට පැමිණෙමින් කරන් කේ.සී. සමග නේපාල වේග පන්දු බලඇණිය සවිමත් කිරීමට ඔහු සූදානමින් සිටී.

නේපාලය : 1 කුෂල් බූටෙල් Kushal Bhurtel, 2 අසීෆ් ෂෙයික් Aasif Sheikh (කඩුලු රකින්නා), 3 භිම් ෂාර්කි Bhim Sharki, 4 රෝහිත් පෞඩෙල් Rohit Paudel (නායක), 5 කුෂල් මල්ලා Kushal Malla, 6 දිපෙන්ද්‍ර සිං අයිරේ Dipendra Singh Airee, 7 ගුල්සන් ජා Gulsan Jha, 8 සොම්පල් කාමි Sompal Kami, 9 කරන් කේ.සී. Karan KC, 10 සන්දීප් ලාමිචානේ Sandeep Lamichhane, 11 ලලිට් රාජ්බන්ෂි  Lalit Rajbanshi

 

තණතීරුවේ ස්වභාවය

පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ පාකිස්තාන සංචාරයේදී එක්දින තරග තුනම පැවැත්වුණේ මූල්තාන් හිදීය.

පළමු එක්දින තරගයේදී පාකිස්තානය ලකුණු 306ක් හඹා ගිය අතර තරග තුනේදීම පළමු ඉනිමේ ලකුණු 250කට වැඩි ප්‍රමාණයක් රැස් කෙරුණි..

එම තරගමාලාවේ වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයින් තිදෙනා වූයේ මොහොමඩ් නවාස්, ෂඩාබ් ඛාන් සහ අකේල් හොසේන් වන අතර, තණතීරුවේ ස්වභාවය එලෙසම  පවතින්නේ නම්, දඟපන්දු යවන්නන්ට නැවතත් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වනු ඇත.

කාලගුණය උණුසුම් හා වියලි වනු ඇතැයි අපේක්ෂා කරන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.