September 20, 2026

ජාතික ජන බලවේගයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ඇතැම් පොරොන්දු ඉටු කිරීමට රජයට අවශ්‍යතාවක් තිබුණද ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ප්‍රශ්න කර සිටී.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිරීක්ෂණ තෙවැනි අර්ධවාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උත්සවයේදී ඔහු මෙම අදහස් පළ කළේය.

මෙම වාර්තාව සකස් කිරීමේදී පවතින නීතිමය සහ ආයතනික බාධාවන් පිළිබඳ අවධානය යොමු කර තිබේද යන්න පිළිබඳවද ඔහු මෙහිදී විමසා සිටියේය.

සෑම දිස්ත්‍රික්කයකම අල්ලස් විමර්ශන කාර්යාල පිහිටුවීමට නම් අල්ලස් කොමිසමේ එකඟතාව මෙන්ම දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම අනිවාර්ය වන බව, 1994 සිට පැවැති සෑම රජයක්ම විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වූ නමුත්, එය අහෝසි කිරීමෙන් පසු දැනට විධායක ජනාධිපතිවරයා සතු බලතල පැවරෙන්නේ කාටද යන්න පිළිබඳ නිසි අධ්‍යයනයක් කර තිබේද යන්න, දැනට නීතිපතිවරයා විසින් ඉටු කරනු ලබන නඩු පැවරීමේ වගකීම් අතරතුර, ඊට අමතරව වෙනමම මහජන අභිචෝදක තනතුරක් පවත්වාගෙන යෑමට රජය බලාපොරොත්තු වන්නේද යන්න ඔහු විමසා සිටියේය.

කෙසේවෙතත්, මෙම සාකච්ඡාවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ රංග දිසානායකගේ මෙම ප්‍රකාශයන් රජයේ නිල ප්‍රතිපත්තිය නොව ඔහුගේ පෞද්ගලික අදහස් ලෙස සැලකිය යුතු බවයි.

මෙම අවස්ථාවේදී නිරීක්ෂණ සහ ඇගයීම් උපදේශකයන් වන එම්. තිලකරාජා සහ ඩී.ඩී. මාතරඅරච්චි විසින් 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය ආවරණය වන පරිදි සකස් කරන ලද තෙවැනි අදියරේ සොයාගැනීම් ඉදිරිපත් කරන ලදී.