September 6, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ දැඩි ප්‍රහාරයක් ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම පක්ෂයේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එළඹෙන සැප්තැම්බර් 12 වන දින අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ දැවැන්ත ජන රැළිය අඩපණ කිරීමේ සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් පවතින ජනමතය මර්දනය කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

පසුගිය පාලන සමයේ සම්මත කරන ලද දූෂණ විරෝධී නීති, වත්මන් ආණ්ඩුව විසින් දේශපාලනමය මර්දනය සඳහා අවියක් ලෙස භාවිත කරන බවට චෝදනා කරන පොදුජන පෙරමුණ, නාමල් රාජපක්ෂට එරෙහිව නැගී ඇති සියලු චෝදනා පදනම් විරහිත බව ද අවධාරණය කරයි.

නායකයන් සිරගත කිරීමෙන් මහජන බලවේග නතර කළ නොහැකි බවත්, නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ අනුරාධපුර මහ ජන රැළිය සැප්තැම්බර් 12 වන දින වඩාත් ශක්තිමත්ව පවත්වන බවත් එම නිවේදනය මගින් පක්ෂය වැඩිදුරටත් දැනුම්දෙයි.

පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත්කළ එම සම්පූර්ණ නිවේදනයයි.