August 16, 2023

2022 /2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම අයදුම්පත් කැඳවීම සිදුකරන අතර 2021 නොවැම්බර් මස 24 දිනැති 2255/24 අංක දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාර්ගෝපදේශ අනුව පහත සඳහන් සුදුසුකම් සහිත ශ්‍රී ලංකා පුරවැසියන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය.

01. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වීම

02. නීති ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් සහ ඉහළ වෘත්තීය විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ අයකු වීම

03. ශ්‍රී ලංකාව තුළ නීතියේ උන්නතිය සහ නීති විෂයෙහි විශේෂඥයකු ලෙස සුවිශේෂී සහ විශිෂ්ට දායකත්වයක් ලබා දීම

04. ශ්‍රී ලංකාව තුළදී හෝ විදේශයකදී නීතිය පිළිබඳ විශේෂ හැකියාවක් පිළිඹිඹු කිරීම

05. යහපත් චරිතයකින් සහ කීර්තිනාමයකින් යුක්ත වීම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකළ අයෙකු වීම

06. නීතියේ ආධිපත්‍යයට හෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන හෝ බිඳ හෙළන කිසිදු ක්‍රියාවක නිරත වී නොතිබීම

07. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විනය නියෝගයකට ලක්කර නොමැති, අධිකරණයක් විසින් වෘත්තීමය විෂමාචාරයක් හෝ අකටයුත්තක් සඳහා වරදකරු කර නොමැති අයකු වීම

08. අවම වශයෙන් අවුරුදු පහක කාලයක් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු ගෙවන්නෙකු වශයෙන් ලියාපදංචි වී ඇති පුද්ගලයෙකු වීම

නීතිය සහ නීති පද්ධති පිළිබඳ ග්‍රන්ථ, ලේඛන ප්‍රසිද්ධ කර තිබීම, ජාතික හෝ අන්තර්ජාතික සමුළු සඳහා පත්‍රිකා ඉදිරිපත් කර තිබීම, ජාතික හෝ අන්තර්ජාතික පිළිගත් ආයතන මගින් නීතිය පිළිබඳ වැඩිදුර හදාරා තිබීම, පිළිගත් උසස් අධ්‍යාපන ආයතන තුළ නීති විෂය උගන්වා තිබීම ජනාධිපති නීතිඥවරුන් පත්කිරිමේ දී අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.

අයැදුම්කරු අවම වශයෙන් වසර විස්සක (20) කාලයක් තුළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු වශයෙන් කටයුතු කර තිබිය යුතුය. (විශේෂිත අවස්ථාවන්හි දී අනෙකුත් සියලුම නිර්ණායකයන් සපුරා ඇති, වසර පහළොවක (15) සේවා කාලයක් සහිත ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයන් ද ජනාධිපති නීතිඥවරයන් ලෙස පත් කිරීමට සලකා බලනු ලැබේ)

අයදුම්කරු නොතාරිස්වරයෙකු ලෙස සේවයේ යෙදී සිටීම නුසුදුසුකමක් ලෙස සලකනු ලබන අතර අයදුම්කරු විසින් සෘජුව හෝ වක්‍රව තුන්වන පාර්ශ්වයක් මගින් අදාළ අයදුම්පත සම්බන්ධව හෝ ජනාධිපති නීතඥවරයකු වශයෙන් පත්කිරීම සම්බන්ධව කිසිදු බලපෑමක් කිරීම නුසුදුසුකමක් ලෙස සළකනු ඇත.

සම්පූර්ණ කළ ලිඛිත අයදුම්පත් අදාළ ලියකියවිලිවල සහතික කළ පිටපත් ද සමඟ, 2023 අගෝස්තු මස 25 වන දින හෝ ඊට පෙර “ජනාධිපති ලේකම්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” යන ලිපිනයට ලැබෙන පරිදි ලියාපදංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත බහා ඇති කවරයේ වම් පස ඉහළ කෙළවරෙහි “ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම – 2022 /2023 යන්න පැහැදිලි ලෙස ලිවිය යුතුය.

අයදුම් පත්‍රය www.presidentsoffice.gov.lk ඔස්සේ ද බාගත කළ හැකිය.