August 16, 2026

ත්‍රිකුණාමලය නාවික හමුදා ජැටියේ පිහිටි කුප්‍රකට ‘ගන් සයිට්’ (Gun Site) නම් භූගත රැඳවුම් මධ්‍යස්ථානය තුළ කාන්තාවන් පස්දෙනෙකු රඳවා තබාගෙන සිටි බවට ලැබී ඇති වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට උපදෙස් දී තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුවය.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන් කිහිපදෙනකු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රඳවා තබාගෙන සිටි බවට මතුවෙමින් පවතින තොරතුරු හමුවේ, මීට පෙර අත්හිටුවා තිබූ නඩු කිහිපයක කටයුතු නැවත ආරම්භ කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් කප්පම් ලබාගැනීමේ අරමුණින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුව ඇතුළු බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් රැසකට මෙම ‘ගන් සයිට්’ භූගත රැඳවුම් මධ්‍යස්ථානය සෘජුවම සම්බන්ධ වී තිබේ.

අතුරුදහන් වූ තරුණයන් 11 දෙනා අතුරුදහන් වීමට පෙර මෙම ස්ථානයේ රඳවා තබාගෙන සිටි බවට අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරිපත් වී තිබිණි.

මෙම පැහැරගැනීම් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කිහිපදෙනකුටම චෝදනා එල්ල වී ඇති අතර, ඊට අදාළ නීතිමය කටයුතු මේ වන විටත් අධිකරණ කිහිපයකම විභාග වෙමින් පවතී.

මෙම සිදුවීමට අදාළව පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කටයුතු කරමින් සිටියි.