August 22, 2026

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීම සහ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්, අධිකරණ විනිසුරුවරුන් සඳහා පමණක් වෙන්වූ විශේෂ දොරටුවෙන් අධිකරණ භූමියට ඇතුළු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ධර්මසිරි වෙතටය.

ඊයේ (21 ) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ බිමල් රුහුණගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක අබේවික්‍රම අධිකරණය හමුවේ විශේෂ කරුණු දක්වමින් දැඩි විරෝධය පළ කළේය.

සාමාන්‍ය ජනතාව පොලිස් පරීක්ෂාවලට ලක්ව ප්‍රධාන දොරටුවෙන් පැමිණෙද්දී, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් කිසිදු සෝදිසියකින් තොරව, සුඛෝපභෝගී මෝටර් රථයකින් විනිසුරුවරුන් ඇතුළුවන සහ පිටවන විශේෂ දොරටුවෙන් අධිකරණයට පැමිණියේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළේය.

“නීතිය ඉදිරියේ සැවොම එක හා සමානයි. මෙවැනි විශේෂිත වරප්‍රසාදයක් ලබාදීමට උන්වහන්සේ අධිකරණ විනිසුරුවරයෙක්ද?” යනුවෙන් විමසා සිටි නීතිඥවරයා, මෙම පක්ෂපාතී ක්‍රියාමාර්ගය පිළිබඳව පොලිසිය වගකීම භාරගත යුතු බවත්, ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙම තර්කය සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සිය විනිසුරු අසුනේ සිටම පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයාට වහාම විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ඒ අනුව පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට, සැකකාර හිමියන් විශේෂ දොරටුවෙන් ඇතුළු වූ ආකාරය සහ පැමිණි ආකාරය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශන සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, ඒ සඳහා විමර්ශන නිලධාරීන් සහභාගි වූ බවත්ය.

ඒ අනුව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩුව 2027 ජනවාරි මස 08 වැනි දින දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස පළමු සැකකාර පල්ලේගම හිමියන්ට සහ දෙවැනි සැකකාරිය වන වින්දිත දැරියගේ මවට නියෝග කෙරිණි.

එසේම, වින්දිත දැරියගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.

දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත යටතේ බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම (365 ආ) සහ ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම (364) යටතේ පල්ලේගම හිමිට නඩු පවරා තිබේ.

වින්දිත දැරියගේ මවට දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත යටතේ තැනැත්තන් වෙළෙඳාම් කිරීම (360 ඇ) සහ අදාළ වැරදි සඳහා ආධාර අනුබල දීම යටතේ චෝදනා නගා ඇත.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් දැනට විදේශ ගමන් තහනම් ඇතුළු දැඩි ඇප කොන්දේසි මත පසුවෙයි.

මෙදින නඩු වාරය සඳහා පැමිණිලි පාර්ශ්වයෙන් නිට්ටඹුව සහ අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශවල උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර, සැකකාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥවරුන් 20 දෙනෙකුට අධික පිරිසක් පෙනී සිටියහ.