July 4, 2025

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩ ව කඩ කරමින්/පටහැනි ව ක්‍රියා කරමින් පැවතුණි. තව ද, ප්‍රාග්ධන ඌණතාව, වත්කම්වල අඩු ගුණාත්මක බව, අඛණ්ඩ අලාභ ලැබීම් සහ කල්පිරුණු විට දී හෝ ඉල්ලා සිටි විට දී තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට අපොහොසත් වීම හේතු කොට ගෙන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ මූල්‍ය තත්ත්වය පරිහානියට පත් වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති සමඟ අනුගත වීම සඳහා නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය වෙත අවස්ථා ගණනාවක දී කාලය දීර්ඝ කිරීම් සිදු කරනු ලැබුව ද ආයතනයේ පවතින මූල්‍ය අවදානම් යථා තත්ත්වයට පත්කර ගැනීමට සහ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන, විධාන සහ නීති සමග අනුගත වීම සඳහා සාධනීය පියවර අනුගමනය කිරීමට නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය අපොහොසත් වී තිබේ.

නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක කළ ද නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට අපොහොසත් වීම හේතුවෙන්, 2023 අංක 17 දරන බැංකු(විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ 2025.07.04 වැනි දා සිට බලාත්මක වන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම ට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ මූල්‍ය/මූල්‍ය නොවන තත්ත්වය පිළිබඳ ව කළ විස්තරාත්මක ඇගයීමකට පසු ව සහ හඳුනාගත් ගැටලු නිරාකරණය කර ගැනීමට ආයතනයට ප්‍රමාණවත් තරම් අවස්ථාවක් ද ලබා දීමෙන් පසු ව, නිරාකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ තීරණයට එළැඹුණි.

ඉහත කරුණු අනුව, බැංකු විශේෂ විධිවිධාන පනත යටතේ නිරාකරණ ක්‍රියාවලියට අනුකූල ව නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී සඳහා අද්මිනිස්ත්‍රාසිකරුවකුපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව, 2025.07.04 දින සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයක් සඳහා පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රොද්‍රිගු මහතා නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී හි අද්මිනිස්ත්‍රාසිකරු වශයෙන් පත් කරන ලදී. අද්මිනිස්ත්‍රාසිකරු විසින් නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී හි සියලු ම වත්කම්, අයිතිවාසිකම්, ව්‍යාපාර කටයුතු පිළිබඳ සම්පූර්ණ පාලනය දරනු ඇති අතර සමාගමේ නමින් සහ සමාගම වෙනුවෙන් ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යනු ඇත.

සමාගමේ වර්තමාන මූල්‍ය තත්ත්වය තවදුරටත් පරිහානියට පත්වීමේ අවදානමක් ඇති බැවින් තැන්පතුකරුවන්ගේ සහ ණය හිමියන්ගේ යහපත ආරක්ෂා කිරීම උදෙසා නිරාකරණය කිරීමේ අධිකාරී බලය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම තීරණය ගෙන ඇති අතර, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සහ අඛණ්ඩතාව සුරක්ෂිත කරගැනීම සඳහා මෙන් ම තැන්පතුකරුවන්ගේ සහ ණය හිමියන්ගේ යහපත උදෙසා සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත.

සමාගම සමග මූල්‍ය බැඳීම් සහිත, නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී හි ණය ලබාගත් සියලු පාර්ශවයන් සිය ගෙවීම් නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී හි නම යටතේ ඇති බැංකු ගිණුමක් හරහා පමණක් සිදු කළ යුතු අතර සියලු ම ගෙවීම් සම්බන්ධව වාර්තා පවත්වාගෙන යන ලෙසටත් උපදෙස් ලබා දෙනු ලැබේ. එසේ ම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමග සහයෝගී ව කටයුතු කරන ලෙස නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී හි සියලුම පාර්ශ්වකරුවන්ගෙන් කාරුණික ව ඉල්ලා සිටී.

අවශ්‍ය අවස්ථාවලදී වැඩිදුර විස්තර ශ්‍රි ලංකා මහ බැංකුව මගින් මහජනතාව වෙත ලබා දෙනු ඇත.