March 5, 2025

පරිසරවේදීන් ඇතුළු පාර්ශව කිහිපයකින් එල්ල වන විවේචන නොතකා යෝජිත සත්ව සංගණනය මුළු රටම ආවරණය වන පරිදි පූර්ව සැලසුම අනුව සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

Daily Mirror වෙත අදහස් දක්වමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් පවසා ඇත්තේ, වගා හානි සිදුකරන දඬුලේනුන්, මොණරුන්, රිලවුන් සහ වඳුරන් වැනි සතුන් එම සංගණනයට ඇතුළත් වන බවයි.

“ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි ආකාරයේ සංගණනයක් සිදුවන්නේ ප්‍රථම වතාවට. මෙම සංගණනය මාර්තු 15 වැනිදා සිදුකෙරෙන අතර පෙරවරු 8.00 සිට 8.05 දක්වා මිනිත්තු පහක කාල රාමුවක් තුළ සතුන් ගණන් කිරීම නිලධාරීන්ට පැවරී තිබෙනවා. ඒ නිසා ගොවීන් සහ ගම්වාසීන් ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.”යනුවෙන් ඔහු පවසා තිබේ.

එමෙන්ම වෛද්‍ය තාරක ප්‍රසාද් පෙන්වා දී ඇත්තේ, මේ සඳහා ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගන්නා බව සහ ඉඩම් හිමියන් තම දේපළවල සිටින සතුන් සංඛ්‍යාව පිළිබඳව අදාළ ග්‍රාම නිලධාරීන්ට දැනුම් දිය යුතු බවයි.

“අපි ඉංගිරිය ප්‍රදේශයේ පූර්ව පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී අපට සතුටුදායක සහයෝගයක් සහ ධනාත්මක ප්‍රතිචාරයක් හිමිවුණා.” ඔහු වැඩිදුරටත් පවසයි.

මේ අතර, මෙම සත්ත්ව සංගණන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි විසඳීමට සහ එම ගැටලුව කළමනාකරණය කිරීම සඳහා නිර්දේශ ලබාදීමට පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශයක් ලෙස මාර්තු 15 වැනිදා පැවැත්වීමට නියමිත සත්ත්ව සංගණනය සැලසුම් කර ඇති බවයි.

කෙසේවෙතත් පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන Daily Mirror වෙත පවසා ඇත්තේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා සංගණනය සංවිධානාත්මකව හා විද්‍යාත්මකව සිදුකළ යුතු බවයි.