August 28, 2026

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු සංජේ බංගාර්ගේ දියණිය වන ආන්යා බංගාර්, 2027 මාර්තු මාසයේ සිට ප්‍රධාන පෙළේ කාන්තා ක්‍රිකට් තරගාවලි සඳහා පිවිසීමේ අරමුණින් නැවතත් තරගකාරී ක්‍රිකට් පිටියට පිවිසීමට ඔස්ට්‍රේලියාවේදී සූදානම් වන බව වාර්තා වේ.

මෙම වසර මුලදී ලිංගික සංක්‍රාන්ති සැත්කමකට මුහුණ දුන් බංගාර්ට, ප්‍රාන්ත සහ කලාපීය මට්ටමේ පැවැත්වෙන ‘ප්‍රිමියර් ක්‍රිකට්’ ඇතුළු ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත.

කෙසේ වෙතත්, කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය නියෝජනය කිරීම ඇතුළු ප්‍රධාන පෙළේ කාන්තා ක්‍රිකට් තරඟ සඳහා ඇයගේ සුදුසුකම් තීරණය වන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිමය කොන්දේසි සපුරාලීම මතය.

එම ප්‍රතිපත්තියට අනුව, එම කාණ්ඩය යටතේ තරග කිරීමට අපේක්ෂා කරන ක්‍රීඩිකාවකගේ රුධිරයේ ටෙස්ටොස්ටෙරෝන් සාන්ද්‍රණය අවම වශයෙන් මාස 12 ක කාලයක් පුරා අඛණ්ඩව ලීටරයකට නැනෝමෝල් 10 ට වඩා අඩුවෙන් පවත්වාගෙන ගොස් ඇති බව තහවුරු කළ යුතුය.

ආන්යා බංගාර් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සලකා බැලූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ ඇයගේ මෙම මාස 12 ක කාල සීමාව 2027 මාර්තු මාසයේදී සම්පූර්ණ වන බවයි.

ඉන් අනතුරුව, ඇයගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම නියමිත සීමාවට වඩා අඩුවෙන් පවතින බවත්, අදාළ ප්‍රතිපත්තියට අනුකූල වන බවත් තහවුරු කිරීම සඳහා ඇය රුධිර පරීක්ෂණයකට මුහුණ දිය යුතුය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බංගාර් අවධාරණය කළේ, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මෙම තීරණය මගින් තමන්ට ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරඟ සඳහා උත්සාහ කිරීමට අවස්ථාවක් ලැබෙනවා මිස කණ්ඩායමක ස්ථානයක් සහතික නොවන බවයි.