July 8, 2026

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මරණයට පත්ව සිටි ස්ථානයේ තිබී සොයාගන්නා ලද නාඳුනන ඖෂධ වර්ග පිළිබඳ රජයේ රසපරීක්ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) රජයේ රසපරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යොමුකළේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, මරණකරු මියගොස් සිටි ස්ථානයේ තිබී නාඳුනන ඖෂධ වර්ග කිහිපයක් සොයාගත් බවත්, ඒවා පරීක්ෂණ සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර ඇති නමුත් එම රසපරීක්ෂක වාර්තා මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවත්ය.

ඊට අමතරව, මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව ඔවුහු අධිකරණයට දැනුම්දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් පසන් අමරසේන, අදාළ ඖෂධ පිළිබඳ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සිහිකැඳවීමක් නිකුත් කිරීමට නියෝග කළේය.

එමෙන්ම, මරණයට හේතුව සනාථ කරගැනීම සඳහා අත්‍යවශ්‍ය වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද කඩිනමින් ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) කාර්යාලය වෙත ද සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියම කරනු ලැබීය.

විමර්ශන කටයුතුවල වත්මන් ප්‍රගතිය විමසා බැලීම සඳහා මෙම නඩුකරය ලබන ජූලි මස 22 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියෝග කළේය.