June 14, 2026

සීගිරිය පැත්තෙන් සෝෂල් මීඩියා හොල්ලපු අමුතුම විදියේ සිද්ධියක් ගැන තමයි මේ ආරංචිය. ළමයින්ගේ උපන්දින සෙල්ලමක් නිසා අන්තිමේදී තරුණයෝ තුන්දෙනෙක් කුදලාගෙන ගිහින් කූඩුවට දාන්න වුණු කතාවක් සීගිරිය පොලිසියෙන් වාර්තා වෙනවා.

වැඩේ සිද්ධවෙලා තියෙන්නේ පසුගිය ජුනි 11 වැනිදා දවල් 1.45ට විතර සීගිරිය තැපැල් කාර්යාලය කිට්ටුව. පාසල් ළමයි සෙට් එකක් එකතු වෙලා යාළුවෙකුගේ උපන්දිනයක් සමරන්න කියලා එකිනෙකාට බිත්තර ගහගෙන සුපිරි ‘බිත්තර ප්‍රහාරයක්’ දියත් කරලා තියෙනවා. හැබැයි ඉතින් මේ ළමයින්ගේ ඉලක්කය වැරදිලා, එතන නතර කරලා තිබුණු කුලී රථයක බිත්තර කීපයක් ගිහින් වැදිලා තියෙනවා.

තමන්ගේ රස්සාව කරන වාහනේ බිත්තර නෑවිලා තියෙනවා දැකපු රියදුරු මහත්මයා, “ළමයිනේ, මහ පාරේ ඔහොම හැසිරෙන්න එපා” කියලා අවවාද කරලා තියෙනවා. ලැජ්ජාවට පත්වුණු ළමයි ටිකත් හොඳ ළමයි වගේ වටවෙලා වාහනේ පිහදාන්න පටන් අරන්.

ඔන්න ඔය අස්සේ තමයි නියම ‘සිනමා ජවනිකාව’ පටන් අරන් තියෙන්නේ. ළමයි වාහනේ පිහදානවා දැකපු කිට්ටුවපාත කඩේක හිටපු සෙල්ලම් චණ්ඩි දෙන්නෙක් එතනට කඩාපැනලා. “තමුසෙ කවුද අපේ ළමයින්ට බණින්න?” කියාගෙන රියදුරු මහත්මයාට අම්මා මුත්තා මතක් කරලා කුණුහරුපෙන් බැනවදිමින්, අමානුෂික විදිහට ඇඟට කඩා පැනලා ගුටි පූජාවක් දීලා තියෙනවා.

මේ මුළු සිද්ධියම එතන හිටපු කෙනෙක් වීඩියෝ කරලා සෝෂල් මීඩියා දාපු ගමන් වීඩියෝ එක ලැව්ගින්නක් වගේ වයිරල් වුණා. වීඩියෝ එක දැකපු ගමන් සීගිරිය පොලිසියේ ලොක්කෝ ටික වහාම ක්‍රියාත්මක වෙලා පරීක්ෂණ පටන් ගත්තා.

අන්තිමේදී මොකද වුණේ? රියදුරාට සෙල්ලම් දාන්න ආපු සීගිරිය සහ ගලේවෙල පැත්තේ පදිංචි අවුරුදු 25 සහ 26 වයස්වල පසුවන චණ්ඩි තුන්දෙනාවම පොලිසියෙන් හැඳුනාගත්තා. එකෙක් පොලිසිය එද්දීම පළාතෙන් මාරු වෙලා තිබුණත්, ජුනි 13 වැනිදා උදේ වෙනකොට පොලිස් දැලට කොටු කරගන්න හැකිවෙලා.

දැන් ඉතින් බිත්තර කේස් එක අස්සේ රියදුරාට වීරකම් පාන්න ගිය තරුණයෝ තුන්දෙනාට සිද්ධවෙන්නේ උසාවි ගිහින් මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ තමන්ගේ ‘වීරකම්’ පෙන්වන්නයි.

සීගිරිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.