May 10, 2025

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැත්තීමට නියමිතව තිබූ විසිරයෑමේ පුහුණු සැසියකදී හෙලිකොප්ටරයක් අනතුර්ට ලක්වීම සම්බන්ධයෙන් යුද හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ යුද සහ ගුවන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශෝකය පළකරන බවයි.

එමෙන්ම අනතුරට ලක්ව මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින යුද හා ගුවන් හමුදා සාමාජිකයන් හට ඉක්මන් සුවය
ප්‍රාර්ථනා කරන බව ද එහි සඳහන් වේ.

මේ අතර යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පොළොන්නරුව මහ රෝහලට ගොස් රෝහල් ගත කර සිටින යුද හා ගුවන් හමුදා සෙබළුන්ගේ තත්ත්වය සොයාබැලූ අතර ඔවුන්ට ඇවැසි ඉදිරි ප්‍රතිකාර පිළිබද රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කර ඇත.

එම ගුවන් අනතුර සිදුවූ වහාම යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ සෙබලුන් වහාම ක්‍රියාත්මක වී අනතුර සිදුවූ ස්ථානයට ගොස් අනතුරට පත්වූවන් ගලවාගැනීමේ ක්‍රියාමාර්ග ගත් බවද එම නිවේදනයේ සඳහන් වේ.

ස්වභාවයෙන්ම අවදානම් සහගත මෙහෙයුම් පිළිබද එම සෙබළුන් විසින් ලබා ඇති මනා පුහුණුවත්, එවන් හදිසි අවස්ථාවක දී ක්‍රියාත්තමක කිරීම පිළිබඳ ඔවුන් සතු උපායමාර්ගික දැනුමත් එහිදී ක්‍රියාවට නංවා තිබූ බැවින් විනාඩියකටත් අඩු කාලසීමාවක් තුළ ඔවුන්ට අනතුර වු ස්ථානයට ළඟාවී විපතට පත්තවුවන් මුදවා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවූ බව එම නිවේදනයෙන් දැක්වෙයි.

එමෙන්ම එම අවස්ථාවේදී මාදුරුඔය ජලාශයේ ධීවර කටයුුුතුවල නිරත වෙමින් සිටි ධීවරයන් පිරිසක්ද එම මුදාගැනීමේ කටයුතුවලදී යුද්ධ හමුදා විශේෂ බලකා සාමාජිකයින් හට සහයෝගය ලබාදී තිබුණු අතර, ඒ සියලුදෙනා හට යුද්ධ හමුදාපතිවරයා ඇතුළු යුද්ධ හමුදාවේ ස්තූතිය හිමිවන බව ද යුද හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.