September 16, 2026

නක්ලස් රක්ෂිතයේ පිහිටි පුංචි ලෝකාන්තයෙන් පහළට ඇදවැටීමෙන් අතුරුදහන්ව සිටි 27 හැවිරිදි තරුණයකුගේ මළසිරුර සොයාගත් බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මැණික්හින්න, ලුණුකැටිය මඩිත්ත, කන්දේගම්මැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඉකුත් සිකුරාදා (11) දින නිවසින් අතුරුදන් වීමෙන් පසුව ඥාතීන් විසින් ඒ පිළිබඳව පැමිණිල්ලක් කර තිබිණි.

ඔහුගේ ජංගම දුරකථන කුලුණු දත්ත ඔස්සේ තොරතුරු අනාවරණය කරගනිමින් පොලිසිය පසුව සෙවුම් මෙහෙයුමක් ආරම්භ කළ අතර, එහිදී නක්ලස් රක්ෂිතයේ පුංචි ලෝකාන්තයේ මැද කොටසේ තිබී ඔහුගේ සිරුර සොයාගැනීමට හැකිවී ඇත.

මළසිරුර කඳුකර ප්‍රදේශයේ සිරවී තිබීම හේතුවෙන් එය ගොඩගැනීමට දැඩි බාධා එල්ල වී තිබේ.

ඒ අනුව සිරුර පහළට රැගෙන ඒම සඳහා උඩුදුම්බර පොලිසිය විසින් යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සහාය ලබාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.