September 4, 2026

හිටපු පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න විසින් කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළව ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීන් කිහිපදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදී ඇත.

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන), සභාපති (මුදල්) සහ පාර්ලිමේන්තු ප්‍රවාහන නිලධාරියකු මෙලෙස කොමිසම හමුවේ පෙනීසිට තිබේ.

කථානායකවරයාට ලබාදී ඇති පහසුකම් පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් වහාම ලබාදෙන ලෙසද අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රොහණධීරට දැනුම් දී ඇත. කථානායකවරයාගේ නිල නිවස, ලබාදී ඇති වාහන, ලබාගත් ඉන්ධන, ආහාර පාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අදාළ ලේඛන මෙලෙස කැඳවා තිබේ.

2026 පෙබරවාරි මාසයේදී චමින්ද කුලරත්න විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ප්‍රධාන චෝදනා 6 ක් පදනම් කරගනිමිනි.

වාහන 2 කට පමණක් හිමිකම් තිබියදී කථානායකවරයා වාහන 3ක් භාවිත කිරීම, පාර්ලිමේන්තු පොදු කටයුතු සඳහා වෙන්කර තිබූ වෑන් රථයක් (WP NC 4923) භාවිත කිරීම සහ කථානායකවරයා ලෙස මෙන්ම මන්ත්‍රීවරයෙකු ලෙසද ද්විත්ව ඉන්ධන දීමනා ලබාගනිමින් ලීටර් 568 කට ආසන්න ප්‍රමාණයක් සඳහා රුපියල් මිලියන 2 කට ආසන්න මුදලක් ලබාගැනීම ප්‍රධාන චෝදනා අතර වේ.

මීට අමතරව, පෞද්ගලික ලේකම්වරයා සඳහා නීතිවිරෝධී ලෙස ප්‍රවාහන හා ඉන්ධන පහසුකම් සැපයීම, පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීම, පාර්ලිමේන්තු සංකීර්ණය අසල නිල බංගලාවක් තිබියදී බම්බලපිටිය ලෝරිස් පාරේ පෞද්ගලික නිවසක් කුලියට ගැනීම, පෞද්ගලික කෝපයක් මත තමන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට නිලධාරියකු පත්කිරීම සහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාදීම වැළැක්වීමට උපදෙස් දීම යන චෝදනාද ඇතුළත් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන පවත්වන අතර, මෙතෙක් කථානායකවරයාට එරෙහිව වරදක් තහවුරු වී නොමැත.