August 14, 2026

එයාර් ඉන්දියා ගුවන් සේවය සිය සියලුම ගුවන් නියමුවන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බලන පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ.

පසුගිය සතියේ තායිලන්තයේ ෆුකෙට් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේම නියමිත උසින් පහතට කඩා වැටීමේ සිද්ධියත් සමඟ මෙම පියවර ගෙන ඇත.

එහි මූලික වාර්තාවලින් හෙළි වී ඇත්තේ අදාළ ගුවන් යානයේ ජ්‍යෙෂ්ඨ නියමුවා නැවත වරක් තහනම් ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට සිදුවූ බවයි. වාර්තාවලට අනුව, එම නියමුවා ගංජා (Marijuana) භාවිත කර ඇති බවට මුලින් කෙරුණු පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

එයාර් ඉන්දියා සමාගමට අයත් අඩු පිරිවැය ගුවන් සේවයක් වන ‘Air India Express’ හි ගුවන් නියමුවන්ද ප්‍රබහස්පතින්දා සිට මෙම පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

දැනට පවතින නීතිරීතිවලට අනුව, අහඹු ලෙස පරීක්ෂා කරනු ලබන්නේ ගුවන් නියමුවන්ගෙන් 10%ක ප්‍රමාණයක් පමණි.

අගෝස්තු 4 වනදා ගුවන්ගත වීමෙන් සුළු මොහොතකට පසු අදාළ එයාර්බස් වර්ගයේ ගුවන් යානය අඩි 300ක් පමණ හදිසියේම පහතට කඩාගෙන වැටීමෙන් එහි ගමන් කළ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු තුවාල ලැබූහ. මේ වන විට ඉන්දියානු බලධාරීන්, එයාර්බස් සමාගම සහ ප්‍රංශයේ ගුවන් ආරක්ෂණ ඒජන්සිය සමඟ එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් අදාළ ගුවන් යානයේ නියමුවන් දෙදෙනාම සේවයෙන් අත්හිටුවා තිබේ.

2025 ජූනි මාසයේදී ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කළ ගුවන් යානයක් ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටීමෙන් යානයේ සිටි 241 දෙනෙකු සහ ගොඩබිම සිටි 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමඟ එයාර් ඉන්දියා සමාගම දැඩි නිරීක්ෂණයට ලක්ව තිබිණි. එම අනතුරෙන් දිවි ගලවා ගත්තේ එක් මගියෙකු පමණි.

ගුවන් සේවා නීති යටතේ තහනම් කර ඇති මත්ද්‍රව්‍ය මෙන්ම ඖෂධ වර්ගද ඇතුළත් මෙම පරීක්ෂණ, එයාර් ඉන්දියා ඇකඩමිය සහ කාර්යාල ඇතුළු ස්ථාන රැසකදී පුහුණු සැසි සමඟින් දැනටමත් ආරම්භ කර ඇත.

මේ අතර, ඉතියෝපියන් එයාර්ලයින්ස් හි හිටපු ප්‍රධානී ටෙවොල්ඩේ ගෙබ්‍රෙමරියම් පසුගිය සතියේ එයාර් ඉන්දියා සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩ භාර ගත්තේය.