February 22, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙර පනවන ලද ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්හිටුවීමෙන් දිනකට පසු ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,
එක්සත් ජනපදයට ගෙන්වන සියලුම භාණ්ඩ සඳහා 15% ගෝලීය තීරුබදුවක් පනවන බව ඊයේ(21) නැවත ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ප් ඔහුගේ Truth Social වේදිකාවේ සටහනක් තබමින් නිවේදනය කළේ, අවලංගු කරන ලද සියලු ආනයන තීරුබදු 10%ක බද්දකින් ප්‍රතිස්ථාපනය කිරීමේ පෙර යෝජනාව සංශෝධනය කරමින් මෙම ඉහළ බද්ද පනවන බවයි.

ට්‍රම්ප් ඒකපාර්ශ්විකව ලොව පුරා පුළුල් තීරුබදු පැනවීමෙන් ඔහුගේ නීතිමය අධිකාරිය ඉක්මවා ගොස් ඇති බව පසුගිය සිකුරාදා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවකින් ප්‍රකාශ කෙරිණි.

එම අධිකරණ තීන්දුව ජනාධිපතිවරයාගේ වෙළඳ න්‍යාය පත්‍රයට සැළකිව යුතු පසුබෑමක් ඇති කළේය.

ඇමරිකානු කර්මාන්ත ආරක්ෂා කිරීමට සහ වෙළඳ හිඟයන් අඩු කිරීමට මෙවලමක් ලෙස සිය තීරුබදු තීරණ නිතර ආරක්ෂා කර ඇති ට්‍රම්ප්, තීන්දුව විවේචනය කර තිබිණි.

පුළුල් ආනයන බදු නැවත ස්ථාපිත කිරීම සඳහා විකල්ප පියවර අනුගමනය කරන බවට ද ඔහු එහිදී සංඥා කළේය.

නව 15% තීරුබදු ක්‍රියාත්මක කරන්නේ කුමන නීතිමය අධිකාරියක් යටතේද යන්න හෝ එය ක්‍රියාත්මක වන්නේ කවදාද යන්න ඔහුගේ සටහනිනි පැහැදිලි නොවීය.