August 19, 2026

කලාවැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන බෝවතැන්න ජලාශයේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා එළඹෙන අගෝස්තු 24 වැනිදා සිට එහි ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ජලාශය ඉදිකර වසර 50ක් ගතවීමෙන් පසුව මෙවැනි පූර්ණ නඩත්තු කටයුත්තක් සිදුකෙරෙන පළමු අවස්ථාව මෙය බව ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න සඳහන් කරයි.

දීර්ඝ කාලයක් තැන්පත් වූ රොන්මඩ හේතුවෙන් ජලාශයේ මුල් ජල පරිමාව වූ කියුබික් මීටර් මිලියන 56ක ප්‍රමාණය කියුබික් මීටර් මිලියන 23 දක්වා අඩුවී ඇත.

එමෙන්ම කලාවැවට ජලය සපයන උමං මාර්ගයේ සහ විදුලිබල උත්පාදක ස්ථානය අසල රොන්මඩ පිරීම නිසා ජල මුදාහැරීමටද බාධා එල්ල වී තිබේ.

දැනට පවතින වියළි කාලගුණය පදනම් කරගනිමින් මෙය සැලසුම් කර ඇති අතර, ඉවත් කරන ජලය කණ්ඩලම, කලාවැව සහ ඉබ්බන්කටුව යන ජලාශවල දැනටමත් ගබඩා කර ඇත.

සති 3ක කාලයක් පුරා මහවැලි අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 4ක ඇස්තමේන්තුවකින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතියෙන් පසු, සැප්තැම්බර් 14 වැනිදා සිට කොත්මලේ ජලාශයේ ගබඩා කර ඇති ජලයෙන් මෙය යළි පුරවනු ලැබේ.

ජලාශයේ තැන්පත් වැලි නාඋල ප්‍රාදේශීය සභාව හා එක්ව ඉවත් කිරීමට නියමිතය.

මේ අතරතුර අඹන්ගඟේ පරිසර පද්ධතිය වෙනුවෙන් පොල්ගොල්ල වේල්ල හරහා අඛණ්ඩව ජලය මුදාහැරීමට පියවර ගෙන ඇත.

වසර 50ක් තැන්පත් වූ රොන්මඩ සහිත ජලාශ පතුල අවදානම් සහගත බැවින් ජලය හිස් කිරීමෙන් පසු මසුන් මැරීමට හෝ නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.