
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වනජීවි නිලධාරීන් විසින් ශ්‍රී පාදස්ථානය නැරඹීමට පැමිණෙන විදෙස් බැතිමතුන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
භූතානයේ සිට පැමිණි කිහිපදෙනෙක් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට අවශ්‍ය බව පවසා ගංගාරාම විහාරස්ථානයේ ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් මගින් දැනුම් දුන් නිසා ඒ පිළිබඳව ශ්‍රීපාද උඩ මළුවේ රාජකාරිකරුවන්ටද දන්වා තමන් වහන්සේ අවශ්‍ය පහසුකම් සළසා තිබියදී, පසුගිය 04 වැනිදා ඔවුන්ගෙන් මුදල් අයකර ඇතැයි ශ්‍රිපාදස්ථානාධිපති නාහිමියෝ පවසති.
පැල්මඩුල්ල මහා විහාරස්ථානයේ පසුගියදා පැවැති ජනමාධ්‍ය සාකච්ඡවකදී ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ මේ බව පැවසූහ.
එමෙන්ම ටිකට් පතක මිල රුපියල් පන්දහසක මුදලක් පමණ වුවද එම විදේශිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම නිලධාරින් විසින් රුපියල් එක්දහස් ගණනක මුදලකට ප්‍රවේශ පත්‍රයක් ලබා දී ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරති.
රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙක්ගෙන් මුදල් අය කිරීමක් සිදු නොකළ බවත්, වර්තමානයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එහි වන්දනා කිරීමට පැමිණෙන හෝ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අවාරයේ මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවත්, උන්වහන්සේ පෙන්වාදෙති.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වනජීවි විෂය භාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට දැනුම් දුන් බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ වැඩිදුරටත් පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart