July 7, 2026

නවසීලන්තයේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක නේවාසිකව සිටි වයෝවෘද්ධ කාන්තාවක දූෂණය කිරීම සහ තවත් කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු වූ ශ්‍රී ලාංකික උපස්ථායකයෙකුට වසර 10යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබේ.

නිලූෂන් ජයංග සිල්වා ගින්තොට විදාන්ගේ නැමැති මෙම පුද්ගලයාට ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් උසාවිය මඟින් ඉකුත් මැයි මාසයේදී මෙම දඬුවම නියම කර තිබූ අතර, ඔහුගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීම වැළැක්වීමට පනවා තිබූ අධිකරණ නියෝගය ඉවත් කිරීමෙන් පසු සඳුදා දින ඔහුගේ නම ප්‍රසිද්ධියට පත්කෙරිණි.

රේඩියෝ නිව්සීලන්ඩ් (RNZ) පුවත් සේවයට අනුව, සැකකරු සේවය කළ අදාළ වැඩිහිටි නිවාසයේ නම ප්‍රසිද්ධ කිරීම අධිකරණය විසින් ස්ථිරවම තහනම් කර ඇත.

එහිදී විනිසුරු ජේන් ෆැරිෂ් පෙන්වා දී ඇත්තේ, වයෝවෘද්ධ භාවය හේතුවෙන් දැඩි ලෙස අසරණව සිටි මෙම කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත්කර සිටි උපස්ථායකයෙකු විසින් සිදුකළ මෙම ක්‍රියාව දැඩි විශ්වාසය කඩකිරීමක් බවයි.

මීට අමතරව, 11 හැවිරිදි දැරියකට රථයකින් පැමිණ දුම්වැටි දීමට සහ බලපෑම් කිරීමට උත්සාහ කරමින් බියගැන්වීමේ වෙනත් චෝදනාවකටද මොහු වරදකරු වී ඇත.

සැකකරු කිසිදු පසුතැවීමක් පළ කර නොමැති අතර දඬුවම් කාලයෙන් තුනෙන් එකක් ගෙවීමෙන් පසු ඔහුව නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියෝග කර තිබේ.