June 14, 2026

මොනරාගල, ඔක්කම්පිටිය මාලිගාවිල ජෝතිඅමුණ ප්‍රදේශයේ වගා බිමක අටවා තිබූ අනීතික විදුලි රැහැනක පැටලීමෙන් වන අලියකු සහ වන අලි පැටවකු විදුලි සැර වැදී මියගොස් ඇත.

පොලිසිය සහ වනජීවී නිලධාරීන් පවසන පරිදි, ප්‍රදේශයේ මහා පරිමාණයෙන් උක්, පැපොල්, කෙසෙල් සහ වී වගා කර තිබූ පෞද්ගලික ඉඩමකට වන සතුන්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා මෙම විදුලි රැහැන අටවා තිබී ඇත.

ආහාර සොයා පැමිණි වන අලින් දෙදෙනා එහි ගැටීමෙන් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුරුදු 20ක් පමණ වයසැති, අඩි 6ක් උසැති වන අලි මවක සහ වසරක් පමණ වයසැති, අඩි 4ක් පමණ උසැති වන අලි පැටවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වනජීවී නිලධාරීන් විසින් එම වගා බිම රැකබලා ගනිමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත්, වන සතුන් ඉලක්ක කර ගනිමින් මාරක විදුලි රැහැන ඇද තිබූ ඉඩමේ හිමිකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටී.

සැඟව සිටින සැකකාර ඉඩම් හිමිකරු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ඔක්කම්පිටිය පොලිසිය සහ වනජීවී නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.