February 1, 2024

ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට (සිකුරාදා 2) පෙරවරු 9ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග කළාය.

ආන්දෝලනාත්මක මානව ඉමියුනොග්ලොබියුලින් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අධිකරණයේ දී අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බදාදා (31) දිනයේ නොපැමිණීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ එක් හේතුවක් අසත්‍ය බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.

බදාදා (31) ජනාධිපති කාර්යාලයේ පැවැති රැස්වීමට කෙහෙළිය රඹුක්වැල්ල සහභාගි නොවූ බව රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ ඇමැති මණ්ඩල අනුකමිටු ලේකම්වරයා ලිඛිතව තහවුරු කළ බව ඇය අධිකරණයට පැවැසුවාය.

මෙම කරුණු සැළකිල්ලට ගත් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ඇමැතිවරයාට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා සිකුරාදා (2) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට නියෝග කළාය.