November 21, 2026

බලංගොඩ, බැංකියාවත්ත ප්‍රදේශයේ නිවසක තාවකාලිකව ඉදිකර තිබූ තාප්පයක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් හත්හැවිරිදි පිරිමි දරුවකු අද (21) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

පස්වරු 1.15ට පමණ මෙම ඛේදජනක සිදුවීම වාර්තා වී ඇති අතර, මියගොස් ඇත්තේ බලංගොඩ අල්මිනාරා විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සෙල්වරාජ් රවිඳු රක්ෂාන් නමැති කුඩා දරුවෙකි.

සිද්ධිය වූ අවස්ථාවේ දරුවාගේ මව මිදුල අතුගා කසළ බැහැර කිරීමට ගොස් නැවත නිවස වෙත පැමිණ ඇති අතර, එහිදී තාප්පයට යටවී සිටින සිය පුත්‍රයා දැක තිබේ. වහාම ක්‍රියාත්මක වූ පිරිස දරුවා ත්‍රිරෝද රථයකින් බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත්, ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

දරුවාගේ දේහය මේ වන විට බලංගොඩ මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරණයට හේතුව තහවුරු කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (22) සිදුකිරීමට නියමිතය.

තාවකාලිකව ඉදිකර තිබූ මෙම තාප්පය කඩාවැටීමට හේතුව සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.