August 16, 2023

රට හැරයෑමට අමතරව, සැළකිව යුතු වෛද්‍ය විශේෂඥයන් පිරිසක් පෞද්ගලික රෝහල්වලට සම්බන්ධවීමට කැමැත්ත පළකිරීමේ සහ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට එක්වීමේ නව ප්‍රවණතාවක් මතුව ඇතැයි වාර්තා වේ.

පසුගිය වසර කිහිපයේ රට තුළ මතුව ඇති බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් පෞද්ගලික රෝහල්වලට එක්වීම සඳහා රජයේ රෝහල්වලින් ඉවත් වීම හෝ සේවය හැර ගොස් ඇත.

එසේම වෛද්‍ය විශේෂඥයන් සැළකිව යුතු පිරිසක් රජයේ රෝහල්වල සේවය හැර ගොස් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට එක්වීම හේතුවෙන් පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය උග්‍රවීමට හේතු වී ඇතැයි වාර්තා අනාවරණය කරයි.

විශ්ව විද්‍යාලවල සේවය කරන විට වැඩි වරප්‍රසාදවලට අමතරව ඉහළ වැටුපක් ලැබෙන බවත්, එම නිසා මේ වනවිට බොහෝ දෙනෙක් රෝහල් හැර ගොස් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රවණතාවක් තිබෙන බවත් පැවැසේ.

මෙම පසුබිම තුළ නිසි අවසරයකින් තොරව සංක්‍රමණයවන වෛද්‍ය වෘත්තිකයන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ ඔවුන් මෙරට රඳවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග යෝජනා කිරීමට කමිටුවකට පවරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

අදාළ කමිටුවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් බව වාර්තා වේ.

එමෙන්ම කමිටුව මේ වනවිට අවසන් වාර්තාව සකස් කරමින් සිටින බවත්, එය නුදුරේදීම නිකුත් කිරීමට නියමිත බවත් පැවැසේ.

නිසි අවසරයකින් තොරව රජයේ රෝහල්වලින් ඉවත්වන ඕනෑම වෛද්‍ය වෘත්තිකයෙක්ට එරෙහිව අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පසුගියදා පැවැසීය.

ඔවුන් සංක්‍රමණය වීමට හෝ පෞද්ගලික රෝහල්වලට සම්බන්ධ වීමට පෙර අදාළ බලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගන්නේ නම් ගැටළුවක් නොමැති බවත් එසේ නොකරන අය පිළිබඳව සොයාබලන බවත් ඔහු සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරයෙක් පුහුණු කිරීමට රජය රුපියල් මිලියන 12ත් 15ත් අතර මුදලක් වැය කරයි.

විදෙස් පුහුණුව නිමවා මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 363 දෙනෙක්ගෙන් 120 දෙනෙක්ම නිසි අවසරයක් ලබා නොගෙන සංක්‍රමණය වී ඇති බව වාර්තා වන්නේ මෙවැනි පසුබිමකය.