July 13, 2026

කොළඹ බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට ප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම දානපතියකු වන නහිල් විජේසූරිය සම්පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදීමට එකඟ වූ බවට පසුගිය දිනවල ජනමාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක් දියත් වුණා. දිනපතා පුවත්පතක පවා පළ වූ මෙම පුවතෙන් කියවුණේ මුහුදු ජලය යොදාගෙන බේරේ වැව පිරිසිදු කිරීමේ කෙටි කාලීන තාක්ෂණික ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම නහිල් විජේසූරිය විසින් දරනු ඇති බවයි.

හැබැයි දැන් මේ කතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා තියෙනවා. තමන් සල්ලි දෙනවා කිව්වේ නැති බව පවසමින් නහිල් විජේසූරිය විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

තමන් බේරේ වැව යථාතත්ත්වයට පත් කිරීමේ අවංක උත්සාහයන් අගය කරන නමුත්, අදාළ සාකච්ඡාවේදී තමන් ලබාදීමට පොරොන්දු වූයේ මූල්‍යමය ආධාර නොව තමන් සතු ‘තාක්ෂණික දැනුම සහ විශේෂඥ උපදෙස්’ පමණක් බව ඔහු අවධාරණය කරනවා. මීට පෙර මංගල සමරවීර නාගරික සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීත් තමන් කිසිදු මුදලක් අය නොකර මෙවැනි තාක්ෂණික සහායක් ලබා දුන් බව ඔහු මතක් කර දෙනවා.

කොළඹ ඩොක්යාර්ඩ් හි ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස මෙන්ම අන්තර්ජාතික නැව් සමාගම් රැසක දශක ගණනාවක ඉංජිනේරු පළපුරුද්දක් ඇති නහිල් විජේසූරිය පවසන්නේ, බේරේ වැව ගොඩගන්න නම් සල්ලි විතරක් මදිවෙන බවත්, ඒ සඳහා විද්‍යාත්මක සහ නිවැරදි ඉංජිනේරු සැලසුම් අවශ්‍ය බවත්ය

“රජය ඉල්ලනවා නම් රට වෙනුවෙන් මගේ දැනුම දෙන්න මම තාමත් ලෑස්තියි. හැබැයි මම කියපු දේ නිවැරදිව වාර්තා වෙන්න ඕනේ. මම ඉදිරිපත් කළේ තාක්ෂණික සහාය විතරයි, සල්ලි නෙවෙයි!” යනුවෙන් නහිල් විජේසූරිය සැර ප්‍රකාශයක් කරමින් ජනමාධ්‍යයේ වාර්තාකරණය නිවැරදි කර තිබෙනවා.