October 11, 2026

තමන් සේවය කරන නිවසේ සාමාජිකයන් ප්‍රවාහනය කරන අතරතුර ‘ක්‍රිස්ටල් මෙත්ඇම්ෆෙටමින්’ (අයිස්’) නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත ශ්‍රී ලාංකික රියදුරකු කුවේට් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ‘කුවේට් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ෆර්වානියා ආණ්ඩුකාර ප්‍රදේශයේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව සැකකරු අර්දියා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කුවේට් ටයිම්ස් වාර්තාවට අනුව, ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කළ විමර්ශකයින් හෙළිකරගෙන ඇත්තේ මෙම ශ්‍රී ලාංකිකයා පවුලේ රියදුරු ලෙස තමන්ගේ රාජකාරි ඉටුකරන අතරතුර මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වී ඇති බවයි.

පසුව පොලිසිය විසින් සැකකරු පරික්ෂා කිරීමේදී ක්‍රිස්ටල් මෙත්ඇම්ෆෙටමින් අඩංගු බෑග් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව, නිවසේ හිමිකරුගේ සහයෝගය ඇතිව ඔහුගේ රැකියා ස්ථානයේ ඇති ලැගුම්ගෙය පරීක්ෂා කිරීමට නිලධාරීන් කටයුතු කර තිබේ.

එහිදී ක්‍රිස්ටල් මෙත්ඇම්ෆෙටමින් ග්‍රෑම් 469.1ක්, ගංජා ග්‍රෑම් 0.7ක්, ඩිජිටල් තරාදියක් සහ කුවේට් වෙනි 285.950ක මුදලක් සොයා ගැනීමට බලධාරීන් සමත් වී ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් වෙත යවන ලද කුවේට් වෙනි 6,573ක මුළු මුදලට අදාළ මූල්‍ය වාර්තා ද විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.

වාර්තාවලට අනුව, බෙදාහැරීම සඳහා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවටත්, කුවේටයෙන් පිටත සිටින සගයකු සමඟ එකතු වී ජාවාරම් කටයුතු සංවිධානය කළ බවටත් සැකකරු පිළිගෙන ඇත.

සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර නීතිමය කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත යොමුකර ඇත.

ගෘහ සේවකයන් නීතිවිරෝධී කටයුතු සඳහා නිවාස සහ වාහන අවභාවිත කිරීම වැළැක්වීම පිණිස විමසිල්ලෙන් පසුවන ලෙස කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය රැකියා යෝජකයින්ගෙන් ඉල්ලා සිටියි.