July 13, 2026

ඔටිසම් සහ වෙනත් ස්නායු ආබාධ සහිත දරුවන් ඇතුළු විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට, සාමාන්‍ය දරුවන් සමඟ එකට හිඳ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය කියාසිටියේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමාජයෙන් වෙන් කර ඔවුන්ට වෙනමම අධ්‍යාපනයක් ලබාදීමේ සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැර වීමට රජය තීරණය කර ඇති බවයි. ඒ අනුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව නව ඇතුළත් කිරීමේ අධ්‍යාපන වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර ඇත.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෛද්‍ය උපදෙස් මත පදනම් වූ ක්‍රියාකාරකම් මූලික කරගත් අධ්‍යාපනය සහ චර්යාත්මක සංවර්ධන සහාය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරිය අවධාරණය කළාය. මෙම දරුවන් හුදෙකලා කිරීමකට හෝ කොන්කිරීමකට ලක්නොකර, ඔවුන්ගේ වයසේ පසුවන අනෙකුත් දරුවන් සමඟ එකට හැදී වැඩීමට සහ වර්ධනය වීමට අවස්ථාව ලබාදීමේ වැදගත්කම ඇය වැඩිදුරටත් පෙන්වාදුන්නාය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමේ මූලික පියවරක් ලෙස, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කළමනාකරණය කිරීම සහ ඔවුන්ට සහාය වීම පිළිබඳව පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමට සහ දැනුවත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ විශේෂිත ආයතන කිහිපයක් ද මෙම වැඩපිළිවෙළ සඳහා විශාල සහයෝගයක් ලබා දී ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය.

වත්මන් ජාතික මුල් ළමාවිය අධ්‍යාපන පද්ධතිය තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවතින අවස්ථා සීමිත මට්ටමක පවතින බව පෙන්වාදුන් අමාත්‍යවරිය, ඉදිරියේදී මෙම දරුවන්ගේ අවශ්‍යතා වඩාත් ඵලදායී ලෙස සපුරාලීම සඳහා රටේ පෙරපාසල් අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීමට පියවර ගන්නා බව ද අවධාරණය කළාය.