May 24, 2026

මධ්‍යම සහ දකුණු පළාත්වලින් වාර්තා වන වෛරස් මෙනින්ජයිටිස් (Viral Meningitis) රෝගී තත්ත්වය පිළිබඳව වැඩිදුර නිරීක්ෂණ කටයුතු සිදුකිරීම සහ එහි වෛරස් ව්‍යාප්ති රටාව හඳුනාගැනීම සඳහා වෛරස් විද්‍යාඥයන් සහ වසංගත රෝග විද්‍යාඥයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර තිබේ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේ, මෙම රෝගය ව්‍යාප්ත වන ආකාරය පිළිබඳව කමිටුව විසින් සමාලෝචනය කර ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කරනු ඇති බවයි.

මෙම වෛරස් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය මුඛ මාර්ගයෙන් (Faecal-oral route), ජලය හෝ ආහාර මගින් බෝවිය හැකි බවට සැක කළද, එය බෝවන නිශ්චිත ආකාරය තහවුරු කරගැනීම සඳහා තවදුරටත් නිරීක්ෂණ කටයුතු අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසයි.

වෛද්‍ය විජේමුණි පෙන්වාදෙන්නේ, මෙම රෝගයේ පළමු පොකුර (Pocket) දෙණියාය ප්‍රදේශයේ පාසල්වලින් වාර්තා වූ බවයි.

අනෙක් රෝගී පොකුරු මධ්‍යම පළාතේ නුවරඑළිය, දියතලාව, මහනුවර රෝහල, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

“මෙම රෝගීන්ගෙන් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ පෙන්නුම් කළද, එය ජීවිතයට තර්ජනයක් විය හැකි මොළයේ පටක ඉදිමීමේ තත්ත්වයක් වන එන්සෙෆලයිටිස් (Encephalitis) දක්වා වර්ධනය වී ඇත්තේ කලාතුරකින්. මොකද මෙම වෛරසය ස්වයං-සීමාකාරී (Self-limiting) එකක් බැවින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටම මෙම රෝගී තත්ත්වය මර්දනය කිරීමේ හැකියාව පවතිනවා,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම සුවිශේෂී වෛරස් ආසාදනය මෙනින්ජයිටිස් ලක්ෂණ පෙන්වුවද, අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පියවර අනිවාර්යයෙන්ම ගත යුතු බව වෛද්‍ය විජේමුණි අවධාරණය කරයි.

ඊට හේතුව, මෙනින්ජයිටිස් තත්ත්වයන් ඇති කරමින් එන්සෙෆලයිටිස් දක්වා වර්ධනය විය හැකි වෙනත් බොහෝ බැක්ටීරියා ආසාදනයන් ද පැවතිය හැකි බැවිනි.

මෙවැනි රෝගී තත්ත්වයන් සෞඛ්‍ය පද්ධතියට විශාල බරකි. එබැවින්, රෝගයට හේතුව නිවැරදිව හඳුනාගැනීම සඳහා කොන්දෙන් දියර ඇදීම (Lumbar punctures) වැනි අධික පිරිවැයක් යන පරීක්ෂණ ඇතුළු විවිධ පරීක්ෂණවලට රෝගීන් භාජනය විය යුතු වේ.

භාවිතයට ගන්නා ජලයේ පිරිසිදුකම ඉහළ නැංවීමට මෙන්ම ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට පියවර ගන්නා ලෙස වෛද්‍ය විජේමුණි ජනතාවට උපදෙස් ලබාදෙයි.

මෙනින්ජයිටිස් රෝගය වැළඳීමෙන් යැයි සැකකෙරෙන සිරකරුවෙකු මියයෑම සම්බන්ධයෙන් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදු වූ මරණය සහ තවත් සිරකරුවන් කිහිපදෙනකු රෝගාතුර වීම පිළිබඳව තමන් දැනුවත් කර ඇති නමුත්, ඊට නිශ්චිත හේතුව සනාථ කර ගැනීමට තවදුරටත් වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය බවයි.