May 24, 2026

ධවල මන්දිරය අසල පිහිටි ආරක්ෂක මුරපොළකට සෙනසුරාදා සවස වෙඩි තැබූ සැකකරුවකුට රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් පසු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් රහස් ඔත්තු සේවය සඳහන් කළේ, ධවල මන්දිරය ආසන්නයේ පිහිටි 17 වැනි වීදිය සහ පෙන්සිල්වේනියා මාවත හමුවන ස්ථානයේ ඇති ආරක්ෂක මුරපොළ වෙත පැමිණි පුද්ගලයකු, තම බෑගයෙන් ගිනි අවියක් ඉවතට ගෙන එහි සිටි නිලධාරීන්ට වෙඩි තැබීමට පටන් ගත් බවයි.

එහිදී වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් පෙරළා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සැකකරු තුවාල ලැබූ බව එම ආයතනය වැඩිදුරටත් කියාසිටියි.

විදෙස් ජනමාධ්‍ය රැසක් උපුටා දක්වමින් රහස් ඔත්තු සේවය නිකුත් කළ තවත් ප්‍රකාශයක දැක්වෙන්නේ, මෙම වෙඩි හුවමාරුව අතරතුර අසල සිටි තවත් පුද්ගලයෙකුට ද වෙඩි වැදී ඇති නමුත් ඔහුගේ තුවාලවල තත්ත්වය කෙතරම් බරපතළ දැයි මෙතෙක් පැහැදිලි නැති බවයි.

එම පුද්ගලයාට වැදුණු වෙඩි ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින්ද යන්න ද මෙතෙක් අනාවරණය වී නොමැති බව එහි සඳහන් වේ.

මේ අතර, වෙඩි තැබීම සිදුකළ සැකකරු මානසික ආබාධයකින් පෙළුණු අයකු ලෙස හඳුනාගෙන ඇති බව නිලධාරියකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

එමෙන්ම මීට පෙර ද ඔහුට එම ප්‍රදේශයට ඇතුළුවීම තහනම් කරමින් ‘වැළකී සිටීමේ නියෝගයක්’ (Stay-away order) නිකුත් කර තිබූ බව ද එම නිලධාරියා අනාවරණය කර ඇත.

මෙම සිදුවීමෙන් කිසිදු ආරක්ෂක නිලධාරියකුට තුවාල සිදුව නොමැති බව රහස් ඔත්තු සේවය තහවුරු කරයි.

සිදුවීම සිදුවන අවස්ථාවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය තුළ රැඳීසිට ඇති බව ද වාර්තා වේ.