May 14, 2026

මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කර තිබෙන පසුබිමක් තුළ රට ගෙන යන්නේ කොයිබට ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ගත වූ වසර දෙක තුළ දී මහ බැංකුව පෙන්වා දී ඇත්තේ මතුවන සියලුදේට දේශපාලඥයින්ට දොස් පැවරීම සහ ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය අවසානයේ හිමිවන පිළිතුර වන්නේ ”දේශපාලනඥයින් තමයි මේ රට කෑවේ” යනුවෙන් බව ද ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.

පවතින ගැටලු දේශපාලනයට ඇද දැමිය යුතු නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මහ බැංකුව මූල්‍ය අංශයේ ස්වාධීනත්වය ලබා ගත්ත ද මතුවන ගැටලුවලදී වගකීමක් නොගන්නා බවයි.

NDB බැංකුව සම්බන්ධයෙන් මතුවූ මූල්‍යමය ගැටලුවේදී එහි වගකීම භාර නොගත් මහ බැංකුව ඩොලරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයේදී එය ගෝලීය ගැටලු මත පටවා ඇති බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

එලෙස වගකීම් භාර නොගන්නේ නම් මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාකරන්නේ කුමක්ටද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක රජයේ සෑම නිලධාරියෙකුටම වගකීම පවතින්නේ නම් මහ බැංකුවේ පරිපාලනයට එවැනි වගකීමක් නොමැති වන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ද විමසා සිටියේය.