June 20, 2026

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන ගමන්මග වෙනස් කළ හැකි සුවිශේෂී මෙන්ම අතිශය රහසිගත හමුවක් පසුගිය සෙනසුරාදා (13) කොළඹදී සිදුව තිබේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ අතරයි.

දෙපාර්ශවයේම දැඩි අවධානයට ලක්වූ මෙම හමුව පවත්වා ඇත්තේ කොල්ලුපිටිය, 5 වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසේදීය.

එහිදී නායකයන් දෙපල පැය එකහමාරකට ආසන්න කාලයක් තනිව සාකච්ඡාවක නිරතව ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, වෙන්ව පවතින සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන අභියෝගයන්ට මුහුණ දීම සඳහා නැවතත් ඒකාබද්ධ කිරීම (හෝ ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීම) සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා අතර මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇති බවයි.

සජිත් ප්‍රේමදාස මෙම හමුවට පැමිණීමට පෙර දින, එනම් සිකුරාදා රාත්‍රියේද රනිල් වික්‍රමසිංහගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

එම සාකච්ඡාව සඳහා සජබ සභාපති කබීර් හෂීම් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ලක්ෂ්මන් ෆොන්සේකා යන පිරිස සහභාගී වී ඇති අතර, ඔවුන් විසින් ඇති කරගත් එකඟතාවල ප්‍රතිඵලයක් ලෙස සෙනසුරාදා දිනයේදී සජිත්-රනිල් මුහුණට මුහුණ හමුව සිදුව තිබේ.

මෙම හමුවීමත් සමඟ මෙරට දේශපාලන කරළියේ නව පෙරළියක් සිදුවනු ඇතැයි පක්ෂ දෙකේ සාමාජිකයෝ අපේක්ෂා කරති.