February 7, 2026

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කර ඇති සේවකයන් 2,200ක් පමණ මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලා මල්වතු – අස්ගිරි උභය පාර්ශවීය මහා නායක හිමිපාණන් වහන්සේ සහ සංඝ උපදේශක විධායක සභාව වෙත හදිසි අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

සේවකයන් එම අභියාචන්න්ප්‍රකාශ කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුව යටතේ නිකුත් කරන ලද රජයේ නිල නිවේදන සහ සහතික මත පදනම්ව ස්වේච්ඡා විශ්‍රාම ගැනීම තෝරා ගත් බවයි.

කෙසේවෙතත්, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ‘ නියම කරන ලද දිනයක්’ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට අපොහොසත් වීම ඔවුන් දැඩි අවිනිශ්චිතතාවකට සහ දුෂ්කරතාවකට පත්කර ඇති බව ඔවුහු කියා සිටිති.

ඔවුන් පවසන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ අහෝසි කිරීම ගැසට් කරන තෙක් ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා අයදුම්කරුවන්ට විධිමත් ලෙස සේවයෙන් ඉවත් වීමට හෝ අනාගත සැලසුම් සමඟ ඉදිරියට යෑමට නොහැකි වේ.

අඛණ්ඩ ප්‍රමාදය ඔවුන්ගේ ජීවනෝපායන් සහ පවුල්වලට බලපාන ‘මානුෂීය අර්බුදයක්’ ලෙස ඔවුන් විස්තර කර තිබේ.

ප්‍රමාදය හේතුවෙන් පැන නගින දැවෙන දුෂ්කරතා කිහිපයක් සේවකයන් විසින් ඉස්මතු කරන ලදී.

සැළකිව යුතු මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමෙන් පසු විදේශ රැකියා අවස්ථා ලබාගත් ඇතැම් අයදුම්කරුවන්ට දැන් රැකියා අවස්ථා මෙන්ම සංක්‍රමණය සඳහා අරමුදල් සැපයීමට ලබාගත් ආයෝජන සහ ණය අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.

පවුල්වලින් වෙන්වී සිටීමට සිදුවීමේ අවස්ථා ද ඔවුන් පෙන්වා දුන් අතර, ඇතැම් සේවකයන්ගේ කලත්‍රයන් සහ දරුවන් දැනටමත් විදේශගත වී ඇති බවත්, සේවකයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බැවින් දරුවන්ගේ අධ්‍යාපනයට සහ පවුලේ සමගියට බාධා කරන බවත් සඳහන් කළහ.

විශ්‍රාම යෑම සඳහා අයදුම් කිරීමෙන් පසු වාණිජ පරිශ්‍ර කුලියට ගැනීම, අත්තිකාරම් ගෙවීම සහ උපකරණ සඳහා ණය ලබා ගැනීම ඇතුළු ව්‍යාපාර ආරම්භ කළ නමුත් දැන් නැවත අඛණ්ඩව රැකියාව කිරීමට සිදුව තිබීම හේතුවෙන් ඉදිරියට යා නොහැකි බව ඇතැම්හු පැවසූහ.

දිගුකාලීන අවිනිශ්චිතතාව සේවක යහපැවැත්මට ද බලපෑම් කර ඇති අතර, අයදුම්කරුවන් කිහිප දෙනෙකු ආතතියට සම්බන්ධ සෞඛ්‍ය ගැටලු අත්විඳින බව වාර්තා වේ.

සේවකයන් ඔවුන්ගේ අභියාචනයේදී මහානායක හිමිවරුන්ගෙන් සහ සංඝ සභාවෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටියේ ක්ෂණික හා සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස රජයට උපදෙස් දෙන ලෙසයි.

ඔවුහු සළකා බැලීම සඳහා ප්‍රධාන යෝජනා දෙකක් ඉදිරිපත් කළහ.

පවතින අවිනිශ්චිතතාව අවසන් කිරීම සඳහා ගැසට් නිවේදනයක් හරහා පත් කළ දිනය වහාම ප්‍රකාශයට පත්කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ දිනය විධිමත් ලෙස ප්‍රකාශයට පත් කරන තෙක් ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අයදුම්කරුවන්ට අනුමත වැටුප් රහිත නිවාඩු ලබා දෙන අභ්‍යන්තර ලංකා විදුලිබල මණ්ඩලයේ චක්‍රලේඛයක් නිකුත් කිරීම එම යෝජනාය.

ලිපිය සාමූහිකව ඉදිරිපත් කර තිබෙන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා අයදුම් කර ඇති සේවකයන්ගේ අත්සන් ඊට ඇතුළත්ව තිබේ.