April 26, 2026

රුසියාවට එරෙහි නවතම සම්බාධක පැකේජයට චීන සමාගම් ද ඇතුළත් කිරීමට යුරෝපා සංගමය (EU) පියවර ගැනීමත් සමඟ, එහි සියලු ප්‍රතිවිපාකවලට යුරෝපා සංගමය වගකිව යුතු බවට බීජිං පාලනය බ්‍රසල්ස් වෙත අනතුරු ඇඟවීය.

මෙමගින් දැනටමත් පළුදු වී ඇති චීන-යුරෝපා වෙළඳ සබඳතාවල නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් චීන වාණිජ අමාත්‍යාංශය පැවසුවේ, රුසියානු සම්බාධකවලට චීන ව්‍යාපාර ඇතුළත් කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස අතෘප්තිමත් වන අතර එයට දැඩි ලෙස විරුද්ධ වන බවයි.

සිය රට නැවත නැවතත් කළ විරුද්ධත්වයන් නොතකා යුරෝපා සංගමය “නිර්ලජ්ජිත ලෙස” ක්‍රියා කරන බවට ද චීනය චෝදනා කළේය.

“සම්බාධක ලැයිස්තුවෙන් චීන සමාගම් සහ පුද්ගලයින් වහාම ඉවත් කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටිනවා,” යැයි එම අමාත්‍යාංශය සඳහන් කළ අතර, තම අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවට ද බීජිං පාලනය අනතුරු ඇඟවීය.

හංගේරියාව සහ ස්ලෝවැකියාව ඔවුන්ගේ නිෂේධ බලය (Veto) ඉවත් කර ගැනීමෙන් පසුව පසුගිය සතියේ අනුමත කරන ලද යුරෝපා සංගමයේ 20 වන සම්බාධක පැකේජය මගින් තවත් රුසියානු බැංකු 20ක් ඉලක්ක කර ඇති අතර, එම බැංකුවලට යුරෝ (euro) ගනුදෙනු සහ යුරෝපා සංගමය තුළ ව්‍යාපාර කිරීම තහනම් කර ඇත.

රුසියානු බොරතෙල් යුක්රේනය හරහා මධ්‍යම යුරෝපයට ගෙන යන ‘ඩ්‍රෂ්බා’ (Druzhba) තෙල් නල මාර්ගය සම්බන්ධයෙන් පැවති ආරවුල විසඳීමෙන් පසුව මෙම සම්බාධක සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි විය.

රුසියාවේ යුද ආර්ථිකයට සහය දැක්වීම සඳහා භාවිතා කරන රහසිගත මාර්ග වසා දැමීමේ පුළුල් උත්සාහයක කොටසක් ලෙස, මෙම සම්බාධක පැකේජය චීනය ඇතුළු තෙවන පාර්ශවීය රටවල බැංකු සහ සමාගම් ද ඉලක්ක කරයි.

මෙහිදී වෙළඳ, බලශක්ති සහ මූල්‍ය ජාලයන් හරහා සම්බාධක මඟහැර යාම වැළැක්වීමේ පියවර කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිකුරාදා අනතුරු ඇඟවූයේ යුරෝපය දැන් එකවරම එක්සත් ජනපදය, චීනය සහ රුසියාව යන රටවල් තුනෙන්ම පීඩනයට ලක්ව ඇති බවයි.