September 9, 2025

මාසයකට පෙර, මම චෙම්මනි හි කැණීම් නරඹමින් සිටියෙමි. මළසිරුරු හාරා, පිරිසිදු කර, ලේබල් කර, වැඩිදුර අධ්‍යයනය සඳහා ඇසුරුම් කරන ලදී. එය ඉතා දුෂ්කර හා වෙහෙසකර කාර්යයක් විය. මා වටා විනිසුරුවෝ, නීතිඥයෝ, මානව හිමිකම් කණ්ඩායම්, විශ්වවිද්‍යාල සිසුහු , සිවිල් සමාජ ක්‍රියාකාරීහු, පොලිසිය, ආරක්ෂක නිලධාරීහු, වෘත්තිකයන්යෝ සහ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු සිටියහ. ඔවුන් සියල්ලෝම ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ කරමින් සිටියහ: මෙහි වළලනු ලැබූ අය කවුද සහ ඔවුන් වළලනු ලැබුවේ කවුද? වළලනු ලැබූ අය එවැනි දවසක් පැමිණේ යැයි කවදා හෝ සිතුවාදැයි මම කල්පනා කළෙමි. ඔවුන්ගෙන් සමහරක් තවමත් සිය පාසල් බෑග් රැගෙන යන දරුවන් පමණි.

බන්ධනාගාරයේ සිටි සොල්දාදුවෙක් වරක් මෙම සුසාන භූමිය සහ මෙහි සඟවා ඇති මළසිරුරු ගණන විස්තර කළේය. ඔහු හරිද? තවත් බොහෝ දේ පොළොව යට වළලනු ලැබ තිබේද? අද වන විට, මළසිරුරු 231ක් ගොඩගෙන ඇත (වීරකේසරී, 2025 සැප්තැම්බර් 04).

මගේ මතකය 1990 සැප්තැම්බර් 5 වැනි දිනට දිවයයි. 158 දෙනකු සන්නද්ධ හමුදා විසින් පැහැරගෙන යන විට, තවත් සිය ගණනක් සමඟ, මම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සරණාගත කඳවුරේ සිටියෙමි. අද දක්වාම, ඔවුන්ට කුමක් සිදුවූවාද යන්න කිසිවෙකු දන්නේ නැත. සියල්ල ඔවුන්ගෙන් උදුරාගත් විට, ඔවුන්ගේ ජීවිත සහ පවුල් ගැන ඔවුන්ගේ මනස් හරහා ගමන් කළේ කුමක්දැයි මම කල්පනා කරමි. මේ වසර ගණනාව පුරාම ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ හදවත් තුළ පැවැති දේ ගැන ද මම සිතමි. මම මගෙන්ම අසමි – මා ගැන කුමක් කිව හැකිද? මම කවදා හෝ ඔවුන්ගේ සිරුරු ගොඩගනු ලබන ආකාරය නරඹනවාද, නැතහොත් ඔවුන් ජීවතුන් අතර නැවත පැමිණෙනු දැකීමෙන් මම පුදුමයට පත්වේද? සාක්ෂි තිබුණත් නැතත්, ඉතිහාසය කවදා හෝ අපගේ කතාව පවසනු ඇත. යුක්තිය යථාර්තයක් ලෙස ඉටුනොවේ නම්, පසුව දිව්‍යමය ලෙස හෝ එය ඉටුවන බව මම විශ්වාස කරමි. එය දැකීමට මම ජීවතුන් අතර නොසිටිය හැකිය, එහෙත් වන්තරුමූලයි වෙතින් රැගෙන ගිය එම 158 දෙනාගේ උරුමය පවතිනු ඇත. රජයේ වාර්තාවල සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඔවුන් තවමත් ‘අතුරුදහන් වූ පුද්ගලයන්’ ලෙස හැඳින්වේ.

නැගෙනහිර පළාතේ අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමේ මා ලැයිස්තුගත කර ඇති පුද්ගලයන්ගෙන් බලධාරීන් කවදා හෝ ප්‍රශ්න කර තිබේද? ඔවුන් එසේ කළා නම්, ප්‍රතිඵලය කුමක්ද? එසේ නොවේ නම්, එසේ කර නැත්තේ ඇයි? වෙනත් නඩුවක රත්නායක වැනි කෙනෙකු, ඔවුන්ගේ ජීවිතයේ අවසානයේ පවා, යම් සැනසීමක් ලබාගත හැකි වන පරිදි ඇඟිල්ල දිගුකර ඇත්ත වශයෙන්ම සිදු වූ දේ පැවසිය හැකිද? මම තවමත් බලාසිටිමි. 1990 සැප්තැම්බර් 5 වැනි දින පමණ යමක් දුටු ප්‍රදේශයේ තවත් අය සිටියාද, ඉඟියක් ලබාදිය හැකිද? කටකතා සහ තහවුරු නොකළ කතාවලින් අපට අසන්නට ලැබුණේ අල්ලා ගත් අය මුලින්ම වාලච්චේන කඩදාසි කර්මාන්තශාලා කඳවුරේ රඳවා තබා පසුව නවලඩි කඳවුරට ගෙන ගිය බවයි. එහෙත් ඔවුන් දැන් කොතැනකද? සිද්ධියෙන් දින තුනකට පසු 1990 සැප්තැම්බර් 8 වැනි දින අපගේ සරණාගත කඳවුරට පැමිණි ජෙනරාල්වරයා මගේ මතකයේ ඇත. ඔහු මට මෙසේ පැවසීය: “ඔවුන් සියල්ලන්ම එල්ටීටීඊ, ඔවුන් ගැන අහන්න එපා.” එහි තේරුම කුමක්ද? මම මේ සියල්ල ජනාධිපති කොමිසමට වාර්තා කළත්, පරීක්ෂණයේදී තවත් කිසිවක් හෙළිනොවන්නේ ඇයි?

බොහෝ අවස්ථාවලදී, සුළු ජාතීන්ට, රටේ කිසිදු අයිතියක් නොමැති පිටස්තර පුද්ගලයන් ලෙස සලකනු ලැබේ. උදාහරණයක් ලෙස, මුස්ලිම්වරුන් අරාබියට යා යුතු බවත්, දෙමළ ජාතිකයන් ඉන්දියාවට යා යුතු බවත් හිටපු ඇමතිවරයෙක් වරක් පැවසූ බව මගේ මතකයේ ඇත. වෛරී ප්‍රකාශ නීති යටතේ පවා ඔහුට එරෙහිව කිසිවක් සිදුනොවීය. දැන් අතුරුදහන්වූවන් පිළිබඳ නව කාර්යාලයක් ඇති බව මට පෙනේ. එහෙත් මුල් වසරවලදී ඔවුන්ට සහ ජනාධිපති කොමිෂන් සභාවලට කරන ලද පැමිණිලි තවමත් විභාග වෙමින් හෝ නිල වශයෙන් මුද්‍රා තබා ඇත්තේ මන්දැයි මම තවමත් කල්පනා කරමි. මෙය සිදුකරනු ලබන්නේ සමහර අන්තර්ජාතික නීති හෝ ගිවිසුම් සපුරාලීම සඳහා පමණක්ද? නව ආණ්ඩුව වෙනස් විය හැකිය. එබැවින් මම යම් බලාපොරොත්තුවක් තබාගනිමි. එහෙත් අන්තර්ජාතික ගිවිසුම් නොතකා පළාත් අයිතිවාසිකම් බැහැරකරන පළාත් සභා මැතිවරණ පැවැත්වීම ඔවුන් ප්‍රතික්ෂේප කිරීම සැක මතුකරයි. මෙය නව නමක් යටතේ ක්‍රියාත්මක වන එකම පැරණි ක්‍රමයද? තවමත්, 2000 වසරට පෙර වාර්තාවූ සිදුවීම් විභාග කරන බවට ජනාධිපතිවරයාගේ මෑත කාලීන පොරොන්දුව, එම කාලයේ අතුරුදහන් වූ පුද්ගලයන් 158 දෙනාගේ සහ තවත් බොහෝ දෙනෙකුගේ පවුල්වලට සුළු බලාපොරොත්තුවක් ලබාදෙයි.

1990 නැගෙනහිරට බිහිසුණු වසරක් විය. මුස්ලිම් ගම්මාන දෙකකට පහරදුන් අතර, නැගෙනහිර විශ්වවිද්‍යාල සරණාගත කඳවුරක් නිර්මාණය විය. තන්නාමුනෙයි ඇතුළු දෙමළ ප්‍රදේශවල පැහැරගැනීම් සහ අත්අඩංගුවට ගැනීම් රාශියක් සිදුවිය. මෙම සිදුවීම් ගැන බොහෝවිට ලියා ඇති අතර, සිතන්ඩි සහ පන්කුඩවේලි වැනි ස්ථාන ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සටහන් වේ. වින්දිතයන්ගේ දේහයන් සොයාගැනීම එක් කාර්යයක් වන නමුත් නිල ලිපිගොනු විවෘත කිරීම තවත් කාර්යයකි. අපි දේහයන් සොයාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමු, මන්ද එසේ නොමැතිව ලිපිගොනු කිසි විටෙකත් නිකුත් කළ නොහැකි බැවිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව චෙම්මනි හි භාවිත කරන උපකරණ වැනි, භූමදාන කළ හැකි ස්ථාන සෙවීම සඳහා වැඩි රේඩාර් උපකරණ භාවිත කිරීම එක් යෝජනාවකි. සත්‍යය සෙවීම වේගවත් කිරීම සඳහා ඩයස්පෝරා ප්‍රජාවන්ට එවැනි උත්සාහයන් සඳහා අරමුදල් සැපයිය හැකිය.

අතුරුදහන්වූවන්ගේ පවුල් සෑම පැත්තකින්ම දැඩි ආතතියකට ලක්ව සිටිති. රැකියා හෝ ප්‍රධාන ආහාර සැපයුම්කරු අහිමි වූ පවුල් සඳහා ආධාර වැනි සත්‍යය බලාපොරොත්තුවෙන් සිටින අතරතුර, අතුරුදන්වූවන්ගේ ආයතනය ඔවුන්ට යම් අතුරු සහයෝගයක් ලබාදෙන්නේ නම් එය උපකාරයක් විය හැකිය. මරණ සහතිකයක් වෙනුවට ‘අතුරුදහන් වූ පුද්ගලයාගේ සහතිකය’ භාවිත කිරීමට පවුල් උත්සාහ කරන විට ඉඩම් පැවරීම්, EPF සහ ETF ගෙවීම් සම්බන්ධයෙන් ගැටළු ඇති බව මට අසන්නට ලැබේ. මෙම ගැටළු විසඳන ලෙස මම රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම පවුල් වසර 35ක් තිස්සේ තම ආදරණීයයන් සොයමින් සිටිති. ඔවුන්ගේ වේදනාවට අමතරව ඔවුන්ට තවත් බරකට මුහුණදීමට සිදුනොවිය යුතුය. නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට මාස කිහිපයක් ඇතුළත මිලියන ගණනක වන්දි ගෙවූ බව මතක තබාගැනීම වටී. ගැටුමේදී නිවාස අහිමි වූ සිය ගණනක් සාමාන්‍ය ජනතාව තවමත් ගෙවීම් සඳහා ලැයිස්තුගත කර නොමැත. සැබෑ කැමැත්තක් තිබේ නම්, සෑමවිටම මාර්ගයක් තිබේ. දැනටමත් වසර 35ක සාමාන්‍ය ජීවිතයක් අහිමි වී ඇති මෙම පවුල් සඳහා රාජ්‍යය එම කැමැත්ත පෙන්විය යුතුය.

මම මා වෙනුවෙන් කිසිවක් සොයන්නේ නැත. එහෙත් මම පාසලේදී කියවූ කතාවක් මට සිහිපත් වේ: “දෙවියන් වහන්සේ සත්‍යය දකින නමුත් බලාසිටී.” මම මෙය විශ්වාස කරමි. යම් දිනක, කොමිසමක් හරහා හෝ නැතත් සත්‍යය එළියට එනු ඇති අතර, චෙම්මනි සමඟ සිදුවූවාක් මෙන් ලෝකය සැබෑ කතාව දැනගනු ඇත. මෙම ඊනියා ‘මරකත දූපතේ’ තවමත් රැඳීසිටින අතුරුදහන්වූවන්ගේ පවුල්වල වේදනාව සදහටම සැඟවෙන්නේ නැත.

– ආචාර්ය ටී ජයසිංහම්, සම්මානිත මහාචාර්ය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව සහ 1990 නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වන්තාරුමුලෙයි සරණාගත කඳවුර භාර නිලධාරියා