August 25, 2026

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය අද දින විවෘත කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන නිවේදනය කළේය. මෙම නව වෙබ් අඩවිය ඔස්සේ මගීන්ට බස් රථ සහ දුම්රිය කාලසටහන් මෙන්ම දිවයින පුරා පිහිටි බහුආදර්ශ ප්‍රවාහන මධ්‍යස්ථාන පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලබාගත හැකිය.

මෙම නව පද්ධතියේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ “MAKU” නමැති කෘතිම බුද්ධිය පදනම් කරගත් මගී සහායකයෙකු හඳුන්වා දී තිබීමයි. එමගින් මගීන්ට තමන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් සෙවීම හා ලබාගැනීම සිදුකළ හැකිය. රජයේ ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීමේ සහ මගී පහසුව ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, බස් රථ පර්යන්ත සහ බස් රථ සමූහ කළමනාකරණය සඳහා වන නව පද්ධතියක් ද මෙහිදී එළිදක්වන ලද අතර, ළඟදීම GPS තාක්ෂණය ඒකාබද්ධ කරමින් බස් රථ ගමන් ගන්නා ආකාරය සජීවීව නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දැනට ක්‍රියාත්මක ‘Park and Ride’ පද්ධතිය පිළිබඳව ද නිලධාරීන්ගේ සමාලෝචනයට ලක්විය.

එහිදී එමගින් සිදුවන වාහන භාවිතය සහ කාබන් විමෝචනය පාලනය වීමෙන් පරිසරයට ලැබෙන යහපත් බලපෑම පිළිබඳ දත්ත ඉදිරිපත් කෙරුණු අතර, යාන්ත්‍රික රථ ගාල වැනි නවෝත්පාදන ඔස්සේ මෙම පද්ධතිය ඉදිරියට ව්‍යාප්ත කිරීමට ද යෝජනා විය.

බස් රථ අංක, මගී ධාරිතාව, කාර්යබහුල සහ සාමාන්‍ය වේලාවන් මෙන්ම බස් රථ ප්‍රමාදයන් ආදී තොරතුරු රැස්කෙරෙන මගී ප්‍රවාහන දත්ත පද්ධතියක් ද ස්ථාපිත කර ඇත. ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගත තීරණ ගැනීමේදී මෙවැනි දත්ත අතිශය තීරණාත්මක වන බව ප්‍රසන්න ගුණසේන අවධාරණය කළේය.

දුම්රිය, දුරගමන් බස් රථ සහ මෙට්‍රෝ බස් සේවා එකම පියසක් යටතට ගෙනෙන බහුආදර්ශ ප්‍රවාහන මධ්‍යස්ථාන මගින් පෞද්ගලික වාහන භාවිතය අවම කර පොදු ප්‍රවාහනය භාවිතයට ජනතාව යොමුකිරීම අපේක්ෂා කෙරේ. රජයේ ඉදිරි ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධන සැලසුම් අතරතුර මෙම මධ්‍යස්ථාන සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.