July 12, 2026

ලංකාවේ දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරපු, කවුරුත් දන්නා දක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥයෙක් වගේම දේශපාලනඥයෙක් වෙච්ච ඩොක්ටර් නීලන් තිරුචෙල්වම් මහතාව 1999 ජූලි 29 වැනිදා කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් ඝාතනය කළේ මුළු රටම කම්පා කරමින්.

ඔන්න දැන් ඒ ඝාතනය පිටුපස තිබුණු, මෙතෙක් කවුරුත් නොදන්නා අතිශය රහසිගත තොරතුරක් වසර ගණනාවකට පසු අලුත්ම වාර්තා චිත්‍රපටයකින් කරළියට ඇවිත් තියෙනවා. NEELAN: UNSILENCED නමින් නිර්මාණය වුණු මේ වාර්තා චිත්‍රපටය හරහා මේ රහස රටටම හෙළිකරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, එදා රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡාවල ප්‍රධාන මැදිහත්කරුවා වෙච්ච නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රික එරික් සෝල්හයිම්.

සෝල්හයිම් කියන විදිහට නීලන් තිරුචෙල්වම්ව මරන්න හේතුව එල්.ටී.ටී.ඊ.යේ ප්‍රධාන දේශපාලන උපායමාර්ගිකයා වෙච්ච ඇන්ටන් බාලසිංහම් එයාටම කියලා තියෙනවා. නීලන්ව මරලා දාපු ගමන්ම, මේ සිද්ධියෙන් අන්දමන්ද වෙලා සලිත වෙච්ච නෝර්වේ නියෝජිතයෝ ඒ දවස්වල ලන්ඩන්වල හිටපු බාලසිංහම් ළඟට දුවලා ගිහින්, “මොන යකෙක්ද මේ කළේ? මොකක්ද ඔයාලා මේ කරපු විනාශය?” කියලා කේන්තියෙන් ප්‍රශ්න කරලා තියෙනවා.

එතකොට බාලසිංහම් දීපු උත්තරයෙන් සෝල්හයිම් පවා පුදුම වෙලා. බාලසිංහම් කියලා තියෙන්නේ, “නීලන් කරන්නේ කොටි සංවිධානයේ දෙමළ අපේක්ෂාවන් කිසිසේත් ඉටුනොවන රජයේ බලය බෙදීමේ යෝජනාවලට දෙමළ ජනතාවගේ පැත්තෙන් සුජාතභාවයක් දෙන එක. ඒ නිසා දෙමළ ජනතාවගේ පැත්තෙන් බැලුවාම එයා රජයේ අතකොළුවක් වෙලා ඉවරයි” කියලා.

ඒ විතරක් නෙවෙයි, මේ සිද්ධිය වෙන්න කළින් කොටි සංවිධානය විසින් නීලන් තිරුචෙල්වම්ට “රටින් පිටවෙලා යන්න” කියලා රහසිගත අනතුරු ඇඟවීමක් පවා කරලා තිබිලා තියෙනවා. නීලන්ටත් මේ අනතුර හොඳටම තේරිලා තිබිලා තියෙනවා. ඒ නිසාම එයා මාස හයක් හෝ අවුරුද්දක් රටින් පිටවෙලා ඉන්න හැමදේම ලෑස්ති කරගෙනයි ඉඳලා තියෙන්නේ.

හැබැයි පුදුමෙ කියන්නේ, නීලන් තිරුචෙල්වම්ට ලංකාවෙන් පිටවෙලා යන්නත් කළින්, කොටි සංවිධානය තමන්ගේ කුරිරු සැලසුම ක්‍රියාත්මක කරලා එයාව ඝාතනය කරලා ඉවරයි. වසර ගණනාවකට පසු එළියට ආපු මේ රහස මේ වෙනකොට දේශපාලන ක්ෂේත්‍රයේ ලොකු කතාබහක් නිර්මාණය කරලා තියෙනවා.