June 14, 2026

ශ්‍රාවස්තිපුර, වදාගම පිහිටි ‘දෙව්රම් වෙහෙර’ විහාරස්ථානයට ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එහි වැඩවසන රාජංගණයේ සද්ධාරතන හිමියන්ට පහර දී, දේපළ පැහැරගෙන ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

පොලිසියට අනුව මෝටර් රථයකින් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා විහාරස්ථානයේ ආවාස ගෙයට ඇතුළු වී උන්වහන්සේට පහර දී ඇති අතර, එහි තිබූ ජංගම දුරකථන 2ක් සහ ලැප්ටොප් පරිගණකයක් කොල්ලකා පළාගොස් තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සද්ධාරතන හිමියන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.