August 15, 2026

දිවුලපිටිය නගරයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරකුට කඩුවකින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුළු තිදෙනකු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දිවුලපිටිය නගර මධ්‍යයේදී බස් රථයට පිටුපසින් පැමිණි මෝටර් රථයක් එකවරම ඊට හරස් කර නවතා ඇති අතර, අනතුරුව එම රථයෙන් බැසගත් පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක විසින් බස් රියදුරු වෙත කඩුවක් පෙන්වමින් මෙලෙස තර්ජනය කර පහරදීමට උත්සාහ කර ඇත.

බස් රථයේ සිටි මගියකු විසින් පටිගත කරන ලද මෙම බිහිසුණු සිදුවීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් ප්‍රචාරය වූ අතර, එමගින් ලැබුණු තොරතුරු මත විමර්ශන ක්‍රියාත්මක කළ දිවුලපිටිය පොලිසිය විසින් අදාළ සැකකරුවන් සහ මෝටර් රථය අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා මෙලෙස අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.