June 14, 2026

ශ්‍රී ලංකාවේ උසාවිවල අවුරුදු ගණන් ඇදෙන නඩු වහාම කඩිනම් කරලා, අපරාධ නඩුවල පැමිණිල්ල මෙහෙයවීම වඩාත් කාර්යක්ෂම කරන්න රජය විසින් අලුත්ම සුපිරි සැලසුමක් සකස් කරලා තියෙනවා කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අලුත් ප්ලෑන් එකට අනුව, උසාවිවල ගොඩගැසිලා තියෙන නඩු ඉක්මනින් ඉවර කරන්න පොලිස් දෙපාර්තමේන්තුවට අලුතින් නීතිඥයන් 100ක් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට තවත් නීතිඥයන් 60ක් පමණ බඳවා ගැනීමට රජය තීරණය කරලා තියෙනවා.

හැබැයි ඉතින් මේ තීරණය පිටුපස තියෙන්නේ කාලෙක ඉඳන් උසාවි ඇතුළේ දකින්න ලැබුණු හරි අපූරු, හැබැයි අසාධාරණ කතාවක්. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන විදිහට, මෙච්චර කල් උසාවිවල අපරාධ නඩු මෙහෙයවන්නේ පොලිස් කොස්තාපල්වරයෙක්. ඒ කියන්නේ PC කෙනෙක්. හැබැයි විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනීසිටින්නේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නීතිඥයෝ, නැත්නම් ජනාධිපති නීතිඥවරු. ඒත් PC කෙනෙක්.

ඉතින් හිතලා බලන්නකෝ, උසාවිය ඇතුළේ පැමිණිල්ලේ ‘PC’ (පොලිස් කොස්තාපල්) සහ විත්ති පාර්ශවයේ ‘PC’ (ජනාධිපති නීතිඥ) අතර සිද්ධවෙන්නේ කිසිසේත්ම සමාන කරන්න බැරි, අතිශය අසමාන සටනක්. මේ අසමාන සටන නිසා නඩු අවුරුදු ගණන් ඇදෙනවා වගේම, සාධාරණය ඉටුවෙන්නත් බාධාවක් වෙලා තිබුණා.

ඔන්න ඔය ‘PC’ලා දෙගොල්ලන්ගේ අසමාන සටන ඉවර කරලා, නීතිය ඉදිරියේ නියම ෆයිට් එකක් දෙන්න තමයි රජය දැන් කෙළින්ම නීතිඥයන්වම පොලිසියටයි, රස පරීක්ෂක කාර්යාලයටයි බස්සන්න යන්නේ.

බලමුකෝ, මේ අලුත් නීතිඥ බලඇණිය ආවාට පස්සෙවත් උසාවිවල නඩු ටික ඉක්මනින් ඉවර වෙලා ජනතාවට ඉක්මන් සාධාරණයක් ඉටුවෙයිද කියලා.